ජපන් ක්‍රමයට මුහුණ පිරිසිදු කර ගැනීම

Japanese Skincare Routine LotionJapanese Skincare Routine


අපේ කාන්තාවන් දැනගෙන සිටිය යුතු බොහොම වැදගත් දෙයක් තමයි තමුන්ට කෙතරම් වෙහෙස දැනුනත්, කිසිම විටෙක මේකප් සමග නින්දට නොයා යුතුයි කියන එක. මං මීට කලින් පෝස්ට් එකක මුහුණ පිරිසිදු කරගත හැකි බොහොම සරල ක්‍රමයක් පිළිබඳව සඳහන් කළා. එහිදීත් මා යන්තමින් සඳහන් කළා පියවර වැඩි සංඛ්‍යාවකින් යුතු ජපන් සහ කොරියන් පිරිසිදු කිරීමේ ක්‍රම තිබෙන බව. අද මා ඔබට කියා දෙන්නේ ජපන් කාන්තාවන් විසින් අනුගමනය කරනු ලබන පියවර 7කින් යුතු මුහුණ පිරිසිදු කරගැනීමේ ක්‍රමය පිළිබඳවයි.

ජපන් කාන්තාවන්ගේ ලස්සන, තරුණ පෙනුමෙන් යුතු සමට මූලික හේතුව වන්නේ ඔවුන් සිය මුහුණු පිරිසිදු කරගැනීමට භාවිතා කරන ක්‍රමය බවයි පැවසෙන්නේ. ඔවුන් උදේ සවස මේ සඳහා කෙතරම් අවධානයක් යොමු කරනවාද කිවහොත්, එය ඔවුන්ගේ සංස්කෘතියෙහි අංගයක් ලෙසින් ගැනිය හැකියි කියා කියනවා. ඇතැම්විට ජපානය පුරා සිටින කාන්තාවන් විසින් අනුගමනය කරනු ලබන layering technique යන්න සම්බන්ධයෙන් ඔබ මේ වන විට අසා තිබිය හැකියි. එහිදී විවිධාකාරයේ සම රැක ගන්නා ආලේපන රැසක් එකකට පසු එකක් වශයෙන් මුහුණෙහි තැවරීම සිදු කරනවා. නමුත් එසේ ආලේප කරන ක්‍රියාවලිය පටන් ගැනීමට පෙර ජපන් ක්‍රමයට සම රැක ගැනීමේ චාරිත්‍රය ආරම්භ වන්නේ මුහුණ පිරිසිදු කරගැනීමෙනුයි. මෙම මූලික පියවර අනිවාර්යයෙන්ම සිදු කළයුතු දෙයක් වශයෙන් සැලකෙන අතර, එය පියවර දෙකකින් සමන්විත double cleansing ලෙසින් හැඳින්වෙනවා.

පියවර 1 - Double Cleansing


1. රූපලාවන්‍ය ආලේපන (makeup) ඉවත් කිරීම

Oil, Glass, Bottle, Honeysuckle, Yellow, Beauty
Pixabay: silviarita

මෙහිදී සිදු කෙරෙන්නේ cleansing oil හෝ cleansing milk හෝ යොදා ගනිමින් මේකප් ඉවත් කිරීම වුවද, ඔවුන් වැඩි වශයෙන් cleansing oil මේ සඳහා යොදා ගන්නවා. මෙහිදී සිදුවන්නේ ෆවුන්ඩේෂන් සහ ඉවත් කිරීමට අපහසු මස්කාරා, අයි ලයිනර් වැනි ආලේපන ඉවත් කිරීමයි. ඔබට ඇත්තේ තෙල් සහිත සමක් වුවද මේ පියවර එලෙසින්ම අනුගමනය කළයුතු වෙනවා.

  • වියළි මුහුණ මත කෙලින්ම වියළි ඇඟිලි තුඩු වලින් තෙල් ආලේප කරන්න.
  • ඉන්පසුව හොඳින් කාලය ගෙන මුළු මුහුණම ඇඟිලි තුඩු වලින් රවුමට, රවුමට මසාජ් කරන්න. මෙහිදී ආලේපන ඉවත් කිරීම අපහසු ප්‍රදේශ සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමු කළ යුතුයි.
  • වතුර බින්දු කිහිපයක් අතට ගෙන මුහුණෙහි සබන් ගාන්නාක් මෙන් ආලේප කොට මසාජ් කළ විට, මුහුණේ තැවරූ තෙල් සුදු පැහැයට හැරෙනවා. එතැනයි මෙම පියවරේ වැදගත්කම තියෙන්නෙ.
  • අවසානයේ එය උණුසුම් (තද රස්නය ඇති වතුර නොවේ) වතුරෙන් හොඳින් සෝදා හරින්න.

2. මුහුණ පිරිසිදු කිරීම

මෙම පියවරේ අරමුණ වන්නේ දූවිලි ඇතුළු අනෙකුත් අපද්‍රව්‍යත්, මුහුණ මත එකතු වී ඇති ස්නේහ ස්‍රාවී ග්‍රන්ථීන් විසින් නිපදවන ලද තෙලුත් සම මතුපිටින් ඉවත් කිරීමයි (deep cleanse).  මේ සඳහා පෙණ නගින water-based ෆෝමිං (foaming) ක්ලීන්සර් එකක් පාවිච්චි කරනවා. ඇස් වටා වූ ප්‍රදේශ මග හැර මුහුණ හොඳින් පවිත්‍ර කරගත් පසුව මුහුණ හොඳින් සෝදා තෙත මාත්තු කරගන්න. මෙහිදී මතක තබා ගත යුතු වැදගත් කරුණු වන්නේ සම මතුපිට හොඳින් සෝදා ගැනීමත්, ඉන්පසුව වතුර ඉවත් කිරීම සඳහා සම මතුපිටට හානියක් වන සේ මුහුණ අතුල්ලන්නේ නැතිව තෙත මාත්තු කර ගත යුතු වීමත්ය. 


පියවර 2 - මුහුණ මත මැරුණු සම ඉවත් කිරීම  (Exfoliating)


Related image

lorealparisusa

මෙම පියවර නිර්දේශ කරනු ලබන්නේ සතියකට එක්වරක් පමණක් සිදු කරන ලෙසටයි. ඔබ මැරුණු සම ඉවත් කරන විට සිහි තබාගත යුතු වැදගත් කරුණක් වන්නේ, මෙම පියවරෙන් පසුව ඔබ විසින් භාවිතා කරනු ලබන නිෂ්පාදනයන් සමට පහසුවෙන් උරා ගැනීමට ඔබ විසින් මග පාදා දෙන බවයි. මේ සඳහා යොදාගන්නා බටහිර රූපලාවණ්‍ය නිෂ්පාදන බොහෝවිට සමට කර්කශ වන බැවින්, ඔබට මේ සඳහා සුදු හඳුන් කුඩු සහ වෙනිවැල්ගැට කුඩු මිශ්‍රණයක් භාවිතා කළ හැකියි. ඒ වගේම මේ පියවර රාත්‍රී කාලයේදී අනුගමනය කරන මෙන් නිර්දේශ කරනු ලබන නමුත් ඔබ එය උදේ කාලයේදී සිදු කළහොත් සන්ස්ක්‍රීන් ආලේප කිරීමට හොඳින් මතක තබා ගන්න.


පියවර 3 - ටෝනර් (Toner)

Image result for applying toner on face by hand free no copyright images
shape

මෙහිදී අපි සාමාන්‍යයෙන් ටෝනර් පාවිච්චි කරන ලෙසට කොට්න් පෑඩ් එකකට දියරය වත් කරලා මුහුණ පුරා ගෑමක් සිදු වන්නේ නැහැ. ඒ වෙනුවට ඒවා අත්ලට වත්කොට මුහුණ මත තෙත මාත්තු කරනවාක් මෙන් තවරා, සමට උරාගන්නට හරිනවා. මේ වතුර වගේ දියරය සමට තෙතමනයක් ඇති කරන නමුත් මොයිස්චරයිසර් එකකින් කෙරෙන කාර්යය ඉන් සිදුවන්නේ නැහැ.


පියවර 4 - එසන්ස් (Essence)

Image result for applying essence on face by hand free no copyright images

Tongue in chic

මෙහිදීද සිදුවන්නේ ඉහත ටෝනර් ආලේප කළාක් මෙන් අත්ලට බිංදු කිහිපයක් හලාගෙන එය සමට උරාගන්නා තෙක් සෙමෙන් තට්ටු කිරීමයි. මෙමගින් සමට දීප්තිමත් බවක්, සුමුදු බවක් මෙන්ම සමෙහි අඳුරු ලප ඉවත්වී යාම ද සිදු වෙන බව කියනවා.


පියවර 5: සීරම් (Serum)

Image result for applying serum on face by hand free no copyright images

Dermstore

එසන්ස් ආලේප කළාට පසුව සීරම් ආලේප කිරීම සිදුවනවා. සීරම් යනු ගණකමින් වැඩි ද්‍රාවණයක් වන අතර, එමගින් සිහින් රැලි, අඳුරු ලප සහ වියළි සම යථා තත්වයට පත්කිරීමට බලාපොරොත්තු වෙනවා. සීරම් පාවිච්චි කරනවිට බිංදු කිහිපයක් හොඳටම ප්‍රමාණවත් වන අතර ඒවායේ සාන්ද්‍රණය ඉතාමත්ම වැඩියි. එයින් බිඳක්වත් අපතේ නොයන්නට නම් දෙකම්මුලෙහි බිංදුව බැගිනුත්, නළලෙහි සහ නිකටෙහි බිංදුව බැගිනුත් තැබීම ප්‍රමාණවත්. ඉන්පසුව ඇඟිලි තුඩගින් තට්ටු කරමින් වටේට පතුරුවන අතර එය සමට උරාගන්නට සැලැස්විය හැකියි. ඉන්පසුව විනාඩි 2-3 ක් පමණ කාලයක් එය සමට උරාගැනීමට ඉඩ දිය යුතුය.

පියවර 6: ඉමල්ෂන් (Emulsion) / මොයිස්චරයිසර් (Moisturizer)


Image result for applying serum on face by hand free no copyright images

Good Housekeeping

ඉමල්ෂන් යනු එතරම් ගණකම නැති ක්‍රීම් වර්ගයක් වන අතර, ගණකම මොයිස්චරයිසර් ආලේප කිරීමට පෙර තවත් සමෙහි තෙතමනය වැඩි කර ගත යුතු බවක් ඔබට දැනෙන්නේ නම් මේවා ආලේප කළ හැකියි. මෙය වඩාත් වියළි සමක් සහිත කෙනෙකුට ඉතාමත් වැදගත් වෙනවා. එසේ වුවත් ඔබට තිබෙන්නේ තෙල් සහිත සමක් නම් වගේම වුවමනාවට වඩා සමෙහි තෙතමනය වැඩි කිරීමට ඔබට අවශ්‍ය නොවේ නම්, ඉමල්ෂන් පමණක් භාවිතා කළ හැකියි.

ඔබ මේ පිළිවෙත රාත්‍රී කාලයේ කරන්නේ නම් ජපන් ක්‍රමයට සම පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය මෙතැනින් අවසන් වනවා. එසේ වුවත් උදේ වරුවේ නම් පහත සඳහන් ඉතාමත්ම වැදගත් පියවර කිසිසේත්ම අමතක කරන්න එපා.

පියවර 7: සන්ස්ක්‍රීන් (Sunscreen)

Image result for applying sunscreen on face by hand free no copyright images

Health Magazine

සන්ස්ක්‍රීන් පාවිච්චිය සහ එහි වැදගත්කම පිළිබඳව මෙයට පෙර ලිපියක සඳහන් කර ඇති බැවින් යලිත් සටහන් කිරීමට යන්නේ නැහැ.


Comments