අන්තර්ජාලය භාවිතා කරන දරුවන්ගේ ආරක්ෂාව

Cyber Security, Business, Corporate, Network, Security
Pixabay: TheDigitalArtist


අන්තර්ජාලයට පින් සිදුවන්නට අළුත් මිතුරන් සොයාගැනීමටත්, ඉන් එහා ගිය සබඳතාවයන් ගොඩනගා ගැනීමටත් අළුත්ම ලෝකයක් බිහිවෙලා තියෙනවා. ඒ වගේම අපට දිනපතාම අහන්න ලැබෙනවා ළමා අපචාරකයො, දූෂකයො, serial killers මේවා හරහා තරුණ දරුවන්ව පොළඹවාගෙන කරනු ලබන අපරාධ පිළිබඳ නොයෙකුත් ආකාරයේ කතා සිය දහස් ගණනක්. අවාසනාවකට වගේ මේ කතා නිකම්ම නිකම් කතා නෙවේ. ඒවා ඇත්තටම සිදු වූ දේවල්. ඒකෙන් අපට පැහැදිලිවම පේනවා වැඩිපුර අන්තර්ජාලය භාවිතා කරන දරුවන් ඉදිරියේ ලොකු අනතුරක් තිබෙන බව. 


අළුතෙන් මිතුරන් හඳුනාගැනීම සඳහා ඇති මේ වගේ වෙබ්සයිට්වල ජනප්‍රියතාවය පසුගිය අවුරුදු කිහිපය තුල වැඩි වීමත් සමගම ඒවායේ ගොදුරු සොයා යන්නවුන්ට තමන්ගේ තරුණ දරුවන් හසුවීමේ අවදානමත් වැඩි වී තිබෙනවා. අළුතෙන් මිතුරන් හඳුනා ගැනීමට කැමති තරුණ වියේ දරුවන් සඳහාම වෙන්වූ, මා මෙතැන නම් සඳහන් කරන්නට අකමැති වෙබ්සයිට් ගණනාවක් අද ක්‍රියාත්මක වෙනවා. මේවා අපි සාමාන්‍යයෙන් අසා පුරුදු ගැහැණු මිනිස්සු සබඳතාවයන් ඇති කරගැනීමට පාවිච්චි කරන ඩේටිං සයිට්ස් නෙවේ. ඒවායේ තමුන්ගේ සයිට් එක පාවිච්චි කරන අය පිළිබඳව සොයා බැලීමක් සිදු වුවද, මිතුරුකම් ඇති කර ගැනීම සඳහා පවත්වාගෙන යනු ලබන සයිට් වල එවැන්නක් සිදුවන්නේ කලාතුරකිනුයි. එවැනි සයිට් එකක සාමාජිකත්වය ලබා ගැනීම සඳහා කෙනෙකුට අවශ්‍ය වන්නේ යූසර් නේම් එකක්, පාස්වර්ඩ් එකක් සහ ප්‍රොෆයිල් එකක් සාදා ගැනීමට විනාඩි පහක් පමණයි. ඒ ආකාරයට ප්‍රොෆයිල් එකක් සාදාගත් කෙනෙකුට පින්තූර අප්ලෝඩ් කරන්නටත්, තමා සම්බන්ධ ඕනෑම තොරතුරක් පලකරන්නටත් පුළුවන්. ඒ වගේම තමාව සැබෑ ලෝකයේදී හමුවිය හැක්කේ කෙසේද කියා පල කිරීමේ හැකියාවත් ඔවුන්ට තියෙනවා. 

මේ සයිට්ස් පාලනය කරන අය තමන්ගේ වෙබ් පිටුව පරිහරණය කරන සියළු දෙනා සම්බන්ධව වෙන වෙනම සොයා නොබලන අතර, ඔවුන් එය කරන්නේ කිසිවෙකු හෝ විසින් කරනු ලබන පැමිණිල්ලක් මත පමණයි. සයිට් එක පාවිච්චි කරන වෙනත් අයෙකු හෝ දෙමව්පියෙකු හෝ ගුරුවරයෙකු හෝ යම්කිසි ප්‍රොෆයිල් එකක් සම්බන්ධයෙන් පැමිණිලි කළහොත් පමණයි, අදාල සයිට් එක පවත්වාගෙන යන්නවුන් ඒ පිළිබඳව සොයා බැලීමට කරදර වෙන්නෙ. විශේෂයෙන්ම දෙමව්පියන් විසින් කරනු ලබන පැමිණිලි බරපතලව භාර ගත්තත්, බොහොමයක් ප්‍රොෆයිල්ස් සම්බන්ධයෙන් කිසිදු විමසා බැලීමක් සිදු නොවන හෙයින් අන්තර්ජාලයේ ගොදුරු සොයා යන්නවුන්ට මේ ආකාරයේ වෙබ්සයිට් තම අරමුණු ඉටු කර ගැනීමට හොඳ තෝතැන්නක් වෙනවා. 

ඔන්ලයින් ප්‍රොෆයිල් එකකින් තමුන් කවුද කියන එකට බොරු කියන්න ඉතාමත්ම පහසුයි. කෙනෙකුට හැකියාව තියෙනවා තමාට අවශ්‍ය ඕනෑම පින්තූරයක් පළ කරලා ඒ ඉන්නෙ තමුන් කියලා කියන්න. අර ගොදුරු සොයාගෙන යන එවුන් මේක කරන්නෙ කිසිම අනුකම්පාවක් නැතුව. වැඩුනු, වයසක පිරිමි, තරුණ ගැහැණු ළමයින් වගේ පෙනී සිටිමින් තමුන්ගෙ බොරු ප්‍රොෆයිල් වලට ඒ බව තහවුරු වන අන්දමට පින්තූර එකතු කරමින් අනෙකුන් ගොනාට අන්දනවා. මේකට කියන්නෙ catfishing කියලයි. මේ වගේ අය ගැහැණු ළමයින්ගෙ සිහින කුමාරයා, ලබාගත හැකි හොඳම පෙම්වතා විදියටත් රඟපානවා වගේම එහිදීත් ඒ බව තහවුරු වන අන්දමේ පින්තූර අප්ලෝඩ් කරනවා. ඉන්පසුව ඔවුන් තරුණ දරුවන් සමග මිතුරු වී ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කරනවා. ඇතැම්විට ඔවුන් උත්සාහ කරනවා තරුණ දරුවන් ඔවුන්ට 'ආදරය' කිරීම සඳහා පොළඹවා ගැනීමටත්. 

විශ්වාසය දිනා ගත්තට පස්සෙ ඊළඟට තියෙන්නෙ සැබෑ ලෝකයේදී හමුවන එක. බොහොමයක් තරුණ දරුවන් මේ අන්තර්ජාලයෙන් හමු වූවන් සැබෑ ලෝකයේදි මුණ ගැසෙන්නේ දෙමව්පියන්ට නොකියා වගේම තමුන්ගේ සැබෑ ලෝකයේ යහළුවන්ගෙන්ද ඒ බව සඟවමින්, රහසිගතවයි. බොහෝ විට අන්තර්ජාලයේදි හමුවුනු මිතුරා, හමුවීම සැලසුම් කරන්නේ වෙනත් කිසිවෙකුට හෝ දැනගත නොහැකි වන පරිද්දෙනුයි. 

මේකෙ භයානකකම තමයි මේ වගේ ප්‍රසිද්ධ සයිට්ස්වල ප්‍රොෆයිල් හදාගෙන ඒවා පින්තූර වලින් පුරවලා, තමුන්ගෙ පෞද්ගලික තොරතුරු විස්තරාත්මකව පල කරන තරුණ දරුවන් තමුන් කරන්නෙ මොකක්ද කියන එක සැබෑ ලෝකයේදී කිසිවෙකුට නොපැවසීම.

Hacking, Cyber, Blackandwhite, Crime, Security
Pixabay: iAmMrRob

එහෙනම් ඔබ කොහොමද අන්තර්ජාලය හරහා මිතුරන් හමුවන අතරේම එය ආරක්ෂිතව සිදු කරන්නේ? ඒ සඳහා ඔබ විසින් තරයේම අනුගමනය කළ යුතු අළුත් වගේම පරණ නීති ගණනාවක් තියෙනවා. මේ සමහර දේවල් පිළිබඳව ඔබ දැනටමත් අසා තිබෙන්නට පුළුවන්.

1. තමුන්ගේ පෞද්ගලික තොරතුරු පෞද්ගලිකවම තබාගන්න. කිසිදු විටෙක ඔබගේ සැබෑ නම, ලිපිනය, උපන් දිය, පාසැලේ නම, ඔබේ සේවා ස්ථානය, බැංකු ගිණුමේ අංකය  සහ ඔබ ඒ මොහොතේ සිටින ස්ථානය අන්තර්ජාලය තුල හමු වූ කිසිදු අයෙකුට නොදෙන්න. ඔවුන්ට එය ඔබගේ අනන්‍යතාවය (identity) සොරකම් කිරීම සඳහා යොදාගත හැකියි.  අදාල පුද්ගලයා තමා පෙනී සිටින කෙනා නොවන්නට බොහෝ විට ඉඩ තියෙනවා. එබැවින් ඔබගේ පෞද්ගලික තොරතුරු ඔවුන් අතට පත්විය යුතු නැහැ. 

2. කිසිදු විටෙක මෙවැනි පුද්ගලයන් හමු වන්නට තනිවම යන්න එපා. සමහර විට මේ අළුත් මිතුරා ඔබ තනිවම නාවොත් මිතුරුකම නැතිවන බව පවසාවි. එසේ වුවහොත් ඒ පිළිබඳව සැකයෙන් බලන්න. මෙවැනි අවස්ථාවකට ඔබේ සැබෑ ලෝකයේ මිතුරන් කිහිප දෙනෙකු සහභාගි කරගන්න. වැඩිහිටියෙකුට ඔබ කුමක් කරන්නට යන්නේදැයි පවසන්න.බොහෝ විටෙක මේ වැඩිහිටියාට ඔබේ නව මිතුරාට නොදැනෙන සේ ඈතින් සිට ඔබ පිළිබඳව අවධානයෙන් පසුවිය හැකියි.  ඒ වගේම ඔබ අදාල පුද්ගලයා හමුවිය යුත්තේ බොහෝ සෙනග ගැවසෙන, ප්‍රසිද්ධ ස්ථානයකදී (eg: shopping mall, food fair) බැව් හොඳින් මතක තබා ගන්න.

3. මේ නව මිතුරා සැබෑ ලෝකයේදී මුණ ගැසුනු පසුව ඔවුන් පිළිබඳව හොඳින් දැනගන්නා තුරු ඔවුන් සමග කිසිදු පෞද්ගලික ගමනක් යන්නට එපා.

4. එසේම ඔබ සැබෑ ලෝකයේදී මේ වන විටත් මුණ ගැසී තිබුණද, ඔවුන් හමුවීම සඳහා බොහෝ දුරක් තනිව ගමන් කිරීමට සූදානම් කරගන්න එපා.

5. තමුන් යන්නේ කොහේද, කාත් එක්කද යන්නෙ, කීයටද යන්නෙ, ආපසු එන්නේ කීයටදැයි වැඩිහිටියෙකුට පවසන්න. වැඩිහිටියෙකුට පවසා මෙවැනි ගමනක් සූදානම් කරගත් පසුව ඔවුන්ට පළමුව නොදන්වා එය වෙනස් කරන්නට යන්න එපා.

6. ඔබට අන්තර්ජාල මිතුරා හමුවීම සඳහා තවත් අයෙකුට තමා වෙනුවෙන් බොරුවක් පැවසීමට සලස්වන්න එපා. ඔබගේ මුණගැසීම බොරුවකින් පටන් ගැනීමට සිදුවන්නේ නම් ඉන් හොඳක් විය නොහැකියි.

7. කිසිවිටෙක තමුන්ට අන්තර්ජාලයෙන් මුණගැසුනු පුද්ගලයෙකු වෙත මුදල් යැවීමට පෙළඹෙන්න එපා. කූට උපක්‍රම භාවිතා කොට තරුණ දරුවන්ගෙන් වාසි ලබා ගැනීමට ඕනෑතරම් වංචාකාරයන් මේ වෙබ්සයිට්වල ඉන්නවා. තමුන්ගේ බැංකු ගිණුමේ විස්තර ලබාගැනීමට ඔවුන් දරන්නා වූ උත්සාහයන්ට හසුවන්නට එපා. මොහොතක් යනවිට ඔබේ බැංකු ගිණුමේ තිබූ මුදල් සියල්ල අතුරුදන්ව යා හැකියි.

8. ඔබට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයන්ගෙන් ලැබෙන මිතුරු ඉල්ලීම් (friend requests) භාරගන්න (accept) එපා. ගොඩක් සයිට්ස්වල මොනවා හරි විදියක පෙරනයක් (filter) දාලා තියෙනවා මේ අළුත් පුද්ගලයා කිසියම් විදියකින් ඔබට සම්බන්ධදැයි බලාගන්න පුළුවන් විදියේ. එවැනි කිසිම සම්බන්ධයක් නැති අහසින් වැටුනු කෙනෙකුගේ ඉල්ලීමක් භාර ගන්න එපා. බොහෝ වෙලාවට එවැන්නක් සැක සහිතයි.

9. කිසිම වෙලාවක සෙක්ස් කියන මාතෘකාව ඔස්සේ කතා කරන්නවත් පින්තූර හුවමාරු කරගන්නවත් යන්න එපා. සමහරු 'F' අකුරෙන් පටන් ගන්න නරක වචනය යොදාගෙන වැඩිහිටියන් කතා කරන විදියට දිව කැපෙන භාෂාවෙන් කතා කරන්න උත්සාහ කරනවා. ඒ වගේ කතා වලට පැටලෙන්න එපා. ඒ වර්ගයේ පින්තූර සම්බන්ධයෙනුත් එහෙමයි. එහෙම දෙයක් කළහොත් ඉන්පසුව ඔහු නොතකා හරින්න. ඔහු බලකිරීමක් කරනවා නම් ඒ පිළිබඳව සයිට් එක පාලනය කරන අයටත් දෙමව්පියන්ටත් වාර්තා කරන්න. සමහරු තමුන්ගේ නිරුවත් සහ අඩ නිරුවත් පින්තූර ඒවන ලෙස කියා සිටිනවා. අන්තිමේදි ඒවා නතර වෙන්නෙ අන්තර්ජාලය පුරාම පැතිරිලා. එහෙම නැත්නම් එයාලා කියන දේ ඔබ ලවා කරවාගන්න යොදාගන්න (blackmail) දෙයක් විදියට. ඒක නොකෙරුවොත් ෆොටෝ ටික ප්‍රසිද්ධ කරනවා කියලා වගේ. මතක තියාගන්න අන්තර්ජාලයේ පල කළ ඕනෑම දෙයක් සොයාගන්න පුළුවන්, බෙදාගන්න පුළුවන් වගේම ලෝකය පුරාම පැතිරී යනවා. ඔබට අවශ්‍ය නැහැනෙ ඔබේ අඩ නිරුවත් හෝ නිරුවත් පින්තූරයක් අන්තර්ජාලය තුල ප්‍රචාරය වෙනවා බලන්න. එහෙම උනාට පස්සෙ පසුතැවිලි වෙලා වැඩක් නැහැ. වෙන්න ඉඩක් නොතියන එකයි වැදගත්.

Hacker, Cyber Crime, Security, Internet, Cyber, Hacking
Pixabay: TheDigitalArtist



10. යම්කිසි අහිතකර බලපෑමක් කිසිවෙකුට ඇති කළ හැකි අන්දමේ සංවාදයක් ඇතිවීගෙන යන බවක් පෙනෙනවා නම් ඒ බව වෙබ් සයිට් එකේ සපෝට් ටීම් එකටත් ඔබගේ දෙමව්පියන්ටත් වාර්තා කරන්න. අන්තර්ජාලය භාවිතා කරමින් අන්‍යයන්ට හිරිහැර කරන පුද්ගලයන් (bullies) හරිම කැමතියි තරුණ දරුවන් තමුන්ගෙ බිල්ලට ගන්න. ඔබට මෙවැනි දෙයක් සිදුවුවහොත් ඒ පිළිබඳව වාර්තා කිරීමට හොඳින් මතක තබාගන්න. එවිට මුලදීම ඔවුන්ව නතර කිරීමට පියවර ගත හැකියි.

11. නොයෙකුත් වෙබ්සයිට්ස් සඳහා ඔබ විසින් යොදාගනු ලබන පාස්වර්ඩ්ස් සුරක්ෂිතව තබාගන්න. තමුන්ගෙම දඟ සහෝදරයෙක් හරි, තමුන්ගෙ ඉස්කෝලෙ ඉන්න අමුතු යාළුවෙක් හරි තමුන්ගෙ එකවුන්ට් එක හැක් කරලා ඒ හරහා අනිත් මිනිස්සුන්ට පණිවුඩ යවන්න පටන් ගන්න එකට තමුන් කැමති නැහැනෙ. ඒ නිසා තමුන්ගෙ පාස්වර්ඩ් ටික තමුන් විතරක් දන්නා පෞද්ගලික ස්ථානයක තබන්න.

12. අන්තර්ජාලය හරහා ඔබ සමග හිතවත් වන පුද්ගලයා සැබෑ ලෝකයේදී ඔබ හොඳින් හඳුනන අයෙකු නොවේ නම්,  සෑමවිටෙකම ඔහු ඔබට පෙන්වන කෙනා නොවිය හැකි බැව් සිතේ තබාගෙන ඒ අනුව කටයුතු කරන්න.

ඉහත ආරක්ෂක උපක්‍රම තරුණ දරුවන්ට පමණක් නොව ඔබ හා මාහටද එක සේ වැදගත් වනු ඇති.



Comments