KonMari ක්‍රමයට Checklist එක භාවිතා කිරීම - 2


Image result for use of konmari checklist free no copyright images

Lisa Tselebidis



KonMari ක්‍රමයට තම නිවස ක්‍රමානුකූල ලෙස අස්පස් කර ගැනීම - 1

ඉහත ලින්ක් එකට ගියාම මේ සම්බන්ධව ලියැවුනු පෙර ලිපිය කියවන්නට හැකිවේවි. එහිදී KonMari ක්‍රමයට නිවසක් අස්පස් කරගැනීම කියන්නේ කුමක්දැයි මම ඔබට හඳුන්වා දීමක් කළා. ඒ වගේම එය කෙරෙන්නේ checklist එකක් අනුව බවත් කිව්වා. අද අපි බලමු මේ කියන checklist එක පාවිච්චි කරන්නෙ කොහොමද කියලා.

මේ KonMari checklist එක ප්‍රධාන වශයෙන් කොටස් 5 කට බෙදෙනවා.

1. ඇඳුම්
2. පොත්
3. කඩදාසි
4. විවිධාකාරයේ සංකීර්ණ (miscellaneous) භාණ්ඩ
5. භාවාත්මක වටිනාකමක් ඇති (sentimental) භාණ්ඩ

ඇඳුම්

Image result for use of konmari checklist to declutter clothes free no copy right images
checkbook

මේ අස් කිරීමේ ක්‍රියාවලියේ පළවෙනි පියවර වෙන්නෙ මුළු නිවසෙම තිබෙන ඇඳුම් අස් කිරීමයි. ඒ සඳහා අපි මේ කොටස කුඩා කොටස් රැසකට බෙදා ගත යුතු වෙනවා.
  • හැට්ට
  • කලිසම්
  • යට ඇඳුම්
  • ජැකට්
  • උත්සව අවස්ථාවලට අඳින ඇඳුම්
  • පිහිනුම් ඇඳුම්
  • විවිධ සෘතු වලදී අඳින ඇඳුම්
  • ගවුම්
  • ශීත කබා
  • පිජාමා
  • මේස්
  • ව්‍යායාම කරන විට අඳින ඇඳුම්
  • සපත්තු
  • අනෙකුත් පළඳනා

දැන් කරන්න ඕන පළවෙනිම දේ තමයි මේ සේරම දේවල් බිම එකම තැනක ගොඩ ගහන එක. ඒ සඳහා මුළු නිවසේම එක, එක තැන්වල තියෙන මේ ඉහත සඳහන් දේවල් රැගෙන ආ යුතු වෙනවා. ඔබ බටහිර රටක ජීවත් වන කෙනෙක් නම් මෙහිදී කියන්නෙ ඔබ ගත කරන වර්තමාන සෘතුවට අදාල නොවෙන ඇඳුම් වලින් පටන් ගන්න කියලයි. ඒ ඇඳුම් මේ මොහොතේදී භාවිතා නොවෙන නිසා, ඒ ඇඳුම් තමුන්ට සතුටක් ඇති කරනවද කියන එක පිළිබඳව වඩා පහසුවෙන් තීරණය කළ හැකි නිසායි.

කාරණා දෙකක් නිසා ඇඳුම් ගබඩා කිරීමේදී ඒවා නවා තැබීම තමයි මාරි කොන්ඩෝ නිර්දේශ කරන්නෙ.

1. ඇඳුම් ගබඩාවෙ වැඩිපුර ගබඩා කිරීමට ඉඩ කඩ සැලසීම.

2. ඒ සෑම ඇඳුමක්ම ඔබේ අතින් අත ගෑවෙන නිසා, අදාල ඇඳුමෙන් ඔබට සතුටක් ඇති වෙනවද කියලා තීරණය කිරීම පහසුවීම.

මේ සෑම අයිතමයක්ම සෘජුකෝණාස්‍රාකාර ලෙස, හිටගැස්විය හැකි පරිදි නවා තැබීම මාරි කොන්ඩෝ විසින් නිර්දේශ කරනවා. ඇඳුම් නවන ආකාරය පිළිබඳව වෙනත් ලිපියකින් ඔබට කියන්නට බලාපොරොත්තු වෙනවා.

අල්මාරිය තුල එල්ලා තැබිය යුතු ඇඳුම්, උදාහරණයක් විදියට උත්සව අවස්ථාවලට අඳින ගවුම්, ජැකට් ආදිය, අසුරන්න කියන්නෙ ඒවායෙ බර, වර්ණය සහ දිග අනුවයි. ඒ අනුව ඔබට අයත් වඩාත්ම බර, වඩාත්ම අඳුරු පැහැයෙන් යුතු, වඩාත්ම දිග ඇඳුම් දකුණු පසින්ද, සැහැල්ලු, කොට, ළා පැහැති ඇඳුම් වම් පසින් ද එල්ලිය යුතු වෙනවා. හැකි තරම් මේ ක්‍රමය අනුගමනය කරලා ඇඳුම් එල්ලුවොත් වම් පස සිට දකුණු පසට ක්‍රමානුකූල නැගීමක් ඔබට දැකගත හැකි වේවි.

මේස් සහ ස්ටොකින්ස් එකට ගැට ගහලාවත් බෝල හදලා ගුලි කරලාවත් අසුරන්න එපා කියලා තියෙනවා. මේවත් ලස්සනට නවා අසුරන අන්දම මාරි කොන්ඩෝ විසින් පැහැදිලි කරලා තියෙනවා.

බොහෝ දෙනෙක් වර්තමාන සෘතුවට අදාල නොවන ඇඳුම් වෙනත් ස්ථානයක ගබඩා කර තබලා අවශ්‍ය වෙනකොට තමයි ආපසු ගන්නෙ. කොන්ඩෝ කියනවා මේ පුරුද්ද වහාම නවත්වන්න කියලා. බොහෝ විට සෘතු ගැන හිතන්නෙ නැතුවම මේ සමහර ඇඳුම් අපට ඕන වෙනවා අඳින්න. උදාහරණයක් විදියට ගිම්හාන සෘතුවේ සමහර දවස් තියෙනවා රෑට සීතල වෙන. ඔන්න එතකොට අර හොඳට ඇඟ වැහෙන විදියේ පිජාමා සූට් එකක් හරි ස්වේටරයක් හරි ඕන වෙනවා. එහෙම නැත්නම් ඔබට සීතල කාලය උනාට ගිම්හාන සෘතුව පවතින වෙනත් රටක සංචාරයකට යනවා වෙන්න පුළුවන්. එහෙම වෙලාවල් වලට අදාල ඇඳුම් පණ දාගෙන සොයන්න වෙන්නෙ නැති, පහසුවෙන් ගන්න පුළුවන් තැනක තියෙන එක මොන තරම් දෙයක්දැයි සිතා බලන්න.






පොත්

Image result for use of konmari checklist to declutter books free no copy right imagesMakespace

රෙදි වලදි වගේම මෙහිදීත් කළයුතු වෙන්නෙ මුළු ගෙදරම තියෙන පොත් ටික බිම එක තැනක ගොඩ ගහන එක. මාරි කොන්ඩෝ කියන විදියට රාක්කයක් අස්සෙ අනිත් දේවල් එක්ක හිරවෙලා තියෙන පොතක් දිහා බලලා තීරණය කරනවාට වඩා, ඒක තියා ගන්නවද නැද්ද කියලා හොඳට හිතලා මතලා තීරණය කරන්න ලේසියිලු, තමුන්ගෙ අතට අරගෙන පෙරලලා බැලුවම.

ඈ කියනවා බිම තියෙන පොත් ගොඩ පහත සඳන් අනු කොටස් විදියට වෙන් කරන්න කියලා.

1. විනෝදයට කියවන සාමාන්‍ය පොත්
2. ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් වෙන පොත් (උදා: ඉවුම් පිහුම් රෙසිපි පොත් )
3. නිකම් ඉන්නකොට පෙරලලා බලන (visual)  පොත් (උදා: කොෆී ටේබ්ල් එක උඩ තියන පොත් )
4. සඟරා

බොහොම සරලවම ඔබ කළයුතු වන්නේ මේ එකින් එක අතට අරගෙන එය ඔබට සතුටක් ඇති කරනවද කියලා බලන එක පමණයි. මෙහිදී මාරි කොන්ඩෝ එක දෙයක් තරයේම කියා සිටිනවා. ඒ ඔබට පොත දිග ඇරලා කියවලා බලන්න යන්න එපා කියලා. ඈ එහෙම කියන්නේ ඉන් ඔබේ තීරණය ගැනීමේ හැකියාවට බාධා වෙන නිසායි. ඒ වගේම මෙහෙම පොත් එකිනෙක අතට ගනිද්දි මීට කලින් කවදාවත්ම කියවා නැති, කවදා හරි කියවනවා කියලා හිතුනු පොතක් අහු උනොත්, මාරි කොන්ඩෝ කියන්නෙ ඒක ඉවත් කරන්න කියලයි. තමුන්ගෙ අත්දැකීමට අනුව 'කවදා හරි' කියලා කියන්නෙ ඒ දේ කවදාවත්ම සිද්ද නොවෙන එක කියලයි ඈ කියන්නෙ.


කඩදාසි

Image result for use of konmari checklist to declutter paper free no copy right images

My Joyful Space



මෙතැනදි මාරි කොන්ඩෝ  මේ සියළුම කඩදාසි තවත් සරල අනු කොටස් තුනකට බෙදනවා.

1. ඉදිරියට ඒ සම්බන්ධව යමක් කළයුතු වෙන කඩදාසි
2. සීමිත කාලයකට පමණක් තබාගත යුතු කඩදාසි
3. කාල නියමයකින් තොරව ගබඩා කොට තබා ගත යුතු කඩදාසි

ඈ ඉදිරියට යමක් කළයුතු කඩදාසි වශයෙන් සලකන්නෙ පිළිතුරක් යැවිය යුතු ලියුම්, කියැවිය යුතු ලියුම්, බිල් ආදියයි. ඈ කියනවා මේ සියළුම දේවල් එක ස්ථානයක තියලා හැකි තරම් ඉක්මනින් කළයුතු දේ කරලා අවසන් කරන්න කියලයි.

සීමිත කාලයකට පමණක් තබා ගත යුතු කඩදාසි වශයෙන් කියන්නෙ නිතර පාවිච්චියට ගැනෙන උදාහරණයක් විදියට ගත්තොත් අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය වන කොළ වගේ දේවලුයි. මේ කඩදාසි පහසුවෙන් ගත හැකි විදියට ගබඩා කරලා පිළිවෙලක් ඇතිව තියාගන්න වෙනවා. ඉහත සඳහන් කළ කොටස වගේම මේ කොටසත් එකම ස්ථානයක තැබිය යුතුයි.

තුන්වෙනි කොටස වෙන කාල නියමයක් නැතිව ළඟ තබා ගතයුතු කඩදාසි ගණයට වැටෙන්නෙ බැඳුම්කර, රක්ෂණ ආවරන වගේ දේවල් වලට අදාල ලිපි ලේඛනයි. මේ දේවල් නිතර, නිතර අරගෙන බලන්න සිදුවන ලිපි නොවන නිසා කොන්ඩෝ කියනවා, ඒ සියල්ලම එකම ලිපිගොනුවක ගබඩා කර තබාගත හැකි බව. මගේ අදහසට අනුව, ඔබට අවශ්‍ය නම් තමාට අවශ්‍ය ලිපිය ගොනුව අතරින් පහසුවෙන් බලා ගැනීමට, ඊට වර්ණවත් කොළවල නම ලියූ කුඩා ටෑග්ස් අලවා තැබිය හැකියි.


විවිධාකාරයේ සංකීර්ණ (miscellaneous) භාණ්ඩ


Image result for tidying up makeup

Pinterest

මාරි කොන්ඩෝ අනෙක් කොටස් හතරට නොවැටෙන සියළුම දේ ගොනු කර තිබෙන්නේ මේ කොටස යටතටයි. ඈ ඒවා තවත් අනු කොටස් දහයකට බෙදලා ඒවා ඒ අනුපිළිවෙලට අස් කරන්න කියලා කියනවා.

1. සීඩී සහ ඩීවීඩී
2. සම රැක බලා ගැනීම සඳහා පාවිච්චි කරන ද්‍රව්‍ය (skincare products)
3. රූපලාවණ්‍ය ආලේප (makeup)
4. අනෙකුත් උපාංග (accessories)
5. වටිනා ද්‍රව්‍ය (valuables)
6. විදුලි බලයෙන් පාවිච්චි කරන උපකරණ (electrical items)
7. ගේ දොර උපකරණ (household equipment - eg: vases, fans, lamps etc)
8. නිවස තුල නොයෙකුත් අවශ්‍යතාවයන් සඳහා පාවිච්චි කරන ද්‍රව්‍ය (household supplies - eg: cleaning products, bin liners, laundry detergents etc)
9. ආහාර සහ මුළුතැන්ගෙයි අවශ්‍යතා වලට භාවිතා කරන ද්‍රව්‍ය (kitchen goods/food supplies)
10. අනෙකුත් ද්‍රව්‍ය

ඔබේ නිවසේ අවශ්‍යතාවය අනුව ඔබට පුළුවන් මේකට තවත් කොටස් එකතු කරගන්න. උදාහරණයක් විදියට ඔබ චිත්‍ර අඳින කෙනෙකු නම්, ඒ උපකරණ වලට කොටසක් එකතු කළ හැකියි. මේ විශේෂ අනුපිළිවෙල පෙන්වලා තියෙන්නෙ, ඒක කෙනෙකුගේ වඩාත්ම පෞද්ගලික භාණ්ඩවල සිට නිවසේ සියළු දෙනාටම අවශ්‍ය වන පොදු භාණ්ඩ දක්වා යන විදියටයි. ඒ නිසා ඔබට පෙනේවි මුල් කොටස්වලට වඩා අවසන් කොටස්වල පොදු භාණ්ඩ සම්බන්ධයෙන් තීරණ ගැනීම එතරම් පහසු නොවන බව. බොහෝ විට එම තීරණය ඔබට මේ සම්බන්ධයෙන් පවුලේ අනෙක් අය ලබා දෙන සහයෝගය මත  රැඳිලා තියේවි.

භාවාත්මක වටිනාකමක් ඇති (sentimental) භාණ්ඩ

Image result for use of konmari checklist to declutter makeup equipment no copyright free images

AIG


මේ යටතට ගැනෙන්නේ සිහිවටන විදියට ඔබ ළඟ තබාගෙන සිටින දේවලුයි. කොන්ඩෝ කියනවා තමුන්ගෙ මනසෙත් හදවතේත් තිබෙන සිහිවටන මේ විදියේ සිහිවටන භාණ්ඩ වලට වඩා වටින නිසා, ඒවා අතහැරියා කියලා තමුන්ට සතුටක් දනවන මතකයන්වත්, පහුගිය අත්දැකීම්වත් නැතිවී නොයන බව. ඒ නිසා එයා කියනවා ඒ එකිනෙක අතට අරන් බලන්න කියා ඒකෙන් ඔබට ලොකු සතුටක් ඇතිවෙනවද කියලා.

------------

කෙසේවුවත් මාරි කොන්ඩෝ පැහැදිලිවම කියනවා තමුන් කොපමණ දේ විසි කරනවද කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් බව. සමහර අය ගොඩක් දේවල් විසි කළාට අනිත් අය එහෙම නැහැ. ඈ කියනවා මෙහිදී මතක තබා ගත යුතු වැදගත්ම දේ වෙන්නෙ කොපමණ ප්‍රමාණයක් විසි කරනවද කියන එක නෙවේ, ඉතිරි කරගත් භාණ්ඩ තමන්ගෙ සිතට මොන තරම් සතුටක් ගෙන එනවද කියන එකයි කියලා. ඔබ ඔබේ අවංකම හැඟීම් ලුහුබැඳ ගියොත් ඔබට පුළුවන් වේවි නිවැරදි තීරණය ගන්න.

ඊළඟ ලිපියෙන් අපි බලමු KonMari ක්‍රමයට ඇඳුම් නවන ආකාරයත් ඒවා ගබඩා කරන ආකාරයත්.

KonMari ක්‍රමයට ඇඳුම් නැවීම  සහ ගබඩා කිරීම - 3

Comments