KonMari ක්‍රමයට තම නිවස ක්‍රමානුකූල ලෙස අස්පස් කර ගැනීම - 1

Apple, Apple Devices, Simply, Mockup, Computer, OfficePixabay: Pexels


අපි ගෙයක් අස් කරන්න ගියාම බොහොමයක් වෙලාවට කරන්නෙ කාමරෙන් කාමරේ එහෙම නැත්නම් දවස ගානෙ ටිකෙන් ටික අස් කරන එක. මාරි කොන්ඩෝ නමැති ජපන් ජාතික කාන්තාව කියනවා මෙන්න මේ ප්‍රවේශය තමයි අපට කවදාවත් ගෙයක් අස් කරගන්න බැරි කරලා තියෙන්නෙ කියලා. බලාගෙන ගියාම ඇත්ත තමයි. හැම නිවාඩු දවසකම අස් කරනවා, අස් කරනවා ඉවරයක් නෑ නේන්නම්. එහෙම නම් එකම එක සැරයක් සම්පූර්ණයෙන්ම ගේ අස් කර ගත්තට පස්සෙ ආයෙ කවදාවත් ඒක කරන්න ඕන නැත්නම්? අන්න ඒකට ක්‍රමයක් මාරි කොන්ඩෝ විසින් එළිදක්වන ලද The Life-Changing Magic of Tidying Up කියන පොතේ විස්තර කොට තිබෙනවා. බොහොම ක්‍රමානුකූලව සරල විදියට නිවසක් අස්පස් කරන්නෙ කොහොමද කියලා එයා හඳුන්වා දුන් ක්‍රමය තමයි KonMari Method කියලා කියන්නෙ.



මොකක්ද මාරි කොන්ඩෝ හඳුන්වා දුන් ක්‍රමයේ තියෙන වෙනස? ප්‍රධානම වෙනස තමයි කාමරයෙන් කාමරයට අස් කරන ක්‍රමය වෙනුවට භාණ්ඩ වර්ගය අනුව අස් කරන එක. උදාහරණයක් විදියට මුළු ගෙදරම තියෙන ඇඳුම් වලින් පටන් අරගෙන ඊට පස්සෙ පොත්, පත්තර, අනෙක් නොයෙකුත් වර්ගයේ භාණ්ඩ අස් කරලා අවසන් වෙලා අන්තිමටම තමුන්ට භාවාත්මක වටිනාකමක් (sentimental value) තියෙන ද්‍රව්‍ය අස් කරන්න පටන් ගන්න කියලයි ඈ උපදෙස් දෙන්නෙ. ඊළඟට එයා කියන ප්‍රධානම දේ තමයි හදවතට සතුටක් ඇති කරවන භාණ්ඩ පමණක් තබාගෙන තව දුරටත් එහෙම හැඟීමක් ඇති නොකරන භාණ්ඩ ඉවත් කරන්න කියන එක. ඊළඟට ඒ හිතට සතුටක් ඇති කරවන භාණ්ඩ ඉතුරු උනාට පස්සෙ, ඒවා තියන්නලු, හොඳට පේන, ළඟා විය හැකි, පහසුවෙන් ගන්න පුළුවන් වගේම ආපසු තියන්න පුළුවන් ස්ථානයක. මාරි කොන්ඩෝ කියන විදියට, ඔන්න ඊට පස්සෙ තමයි අර ආයෙ කවදාවත් අස්පස් කරන්න අවශ්‍ය නොවෙන අවස්ථාව උදා වෙන්නෙ.

දැන් අපි බලමු මේ ක්‍රමයට අනුව නිවසක් අස්පස් කිරීමේදී ඈ කියන මූලික නීති 5 පිළිබඳව.


1. නිවස අස් කිරීම වෙනුවෙන් තමා කැප විය යුතුයි.


පළවෙනි පියවර තමයි නිවස අස් කිරීම වෙනුවෙන් පළවෙනි පියවර තැබීමට තීරණය කිරීම. තමුන්ගෙ එදිනෙදා වැඩ අතරෙ මේ වගේ අළුත් දෙයක් පටන් ගන්න හිත හදාගන්න එක ලොකු දෙයක් වෙන්න පුළුවන්. ඒ උනාට ඒකෙ ප්‍රතිඵලය ඒ වැඩ සියල්ල පහසුවෙන් කරගත හැකිවීම නම්? එවැනි හැඟීමක් ඇති කරගත් පසුව ඔබට පුළුවන් තමුන්ට අවශ්‍ය භාණ්ඩ පමණක් තබාගෙන අනෙක් ද්‍රව්‍ය ඉවත් කරන්න. 

2. තමා ජීවත් වන්නට ආශා කරන විදිය ගැන හිතේ මවාගන්න.



කොන්ඩෝගෙ ක්‍රමයට අනුව මෙහිදී ඔබ කළ යුතු දේ තමයි අවුල් ජාලයකින් තොරව ජීවත් වන්නට තමා ආශා කරන විදිය, කුණු කන්දල් නොමැති නිවස හිතේ මවා ගැනීම. ඒකට හිස් අල්මාරියක් හරි, හිස් බිත්තියක් හරි හිතේ මවා ගැනීම ප්‍රමාණවත් නැහැ. ඊට වඩා ගැඹුරට යන්න වෙනවා. කුණු කන්දල් වලින් තොර ජීවිතයක් ඔබට දැනෙන්නෙ කොහොමද? මේ ගෙවල් අස් කරන්න ගත කරන්න සිදුවන කාලය නිසා ඔබ ආසා කරන දේවල් කීයක් ඔබට මග හැරිලා තියෙනවද කියලා බලන්න. කාටද ඕන ඒ දේවල් මග හැරගෙන සදාකල් ගෙවල් අස් කර, කර ඉන්න?

3. තමුන්ගෙ සිතෙහි සතුටක් ඇති කරවන භාණ්ඩ පමණක් ඉතුරු කොටගෙන, තමුන්ට එවන් හැඟීමක් ගෙන නොදෙන භාණ්ඩ ඉවත් කරන්න. 

මෙහිදී කියන්නෙ ඔබට තවදුරටත් අවශ්‍ය නොවෙන භාණ්ඩ ඉවත් කරන්න කියන එක ගැන නෙවේ. තවදුරටත් තමුන්ගෙ සිතේ සතුටක් ඇති නොකරන භාණ්ඩ ඉවත් කරන්න කියලයි. මේ පියවරේදි මාරි කොන්ඩෝ කියනවා සැබෑවටම තමුන්ගෙ හිතේ සතුටක් ඇති කරවන්නෙ මොන භාණ්ඩද කියා පළමුව හඳුනාගන්න කියලා. දුර ඉඳලා අදාල භාණ්ඩය දිහා බලාගෙන ඉන්නෙ නැතිව ඒක අතට අරගෙන එහා මෙහා පෙරලමින්, ඒක අධ්‍යයනය කරමින්, ඒ භාණ්ඩය නිසා ඔබේ හිතේ මොන විදියේ හැඟීමක් ඇතිවෙනවාදැයි බැලිය යුතුයි. ඒක සදහටම ඉවත් කරනවා කියන එකෙන් ඔබේ හිතේ ඇති වෙන්නෙ මොන වගේ හැඟීමක්ද? ඔබට සැකයක් නැතිව යම්කිසි භාණ්ඩයක් නිසා සතුටක් ඇතිවෙනවා කියා හිතෙනවා නම් වගේම ඒ භාණ්ඩය ළඟ තබා ගැනීමට ඔබ කැමති නම්, අනිත් මිනිස්සු මොනවද කියන්නෙ කියන එකෙන් වැඩක් නැහැ. ඔබ ඒක ළඟ තබා ගන්න. කොන්ඩෝ කියන විදියට මොන භාණ්ඩද සතුටක් ඇති කරවන්නෙ කියන එක තීරණය කරන්න පුළුවන් හැකියාව තමා විසින් වර්ධනය කරගත යුතු දෙයක්.

4. ස්ථානය පිළිබඳව නොසිතා භාණ්ඩ වර්ගය පිළිබඳව සිතන්න.

මාරි කොන්ඩෝ කියනවා අස් කිරීමේදී එය කරන්නට අවශ්‍ය වෙන්නෙ ස්ථානය ගැන සිතා නොව, භාණ්ඩ වර්ගය පිළිබඳව සිතා බව. උදාහරණයක් විදියට තමුන්ගෙ අල්මාරිය අස් කරන එක ගැන නෙවේ මෙතැනදි කියන්නෙ, මුළු ගෙදරම තියෙන රෙදිපිළි අස් කිරීම ගැනයි.

5. නිවැරදි අනුපිළිවෙල අනුගමනය කරන්න.

Image result for konmari checklist free no copyright

මෙතැනදි මාරි කොන්ඩෝ නිර්මාණය කරලා තියෙනවා විශේෂ අස්පස් කිරීමේ අනුපිළිවෙල දැක්වෙන පිරික්සුම් ලැයිස්තුවක් (checklist). එයා කියනවා ඒකෙ මුල ඉඳන් පටන් අරගෙන අගින් ඉවර කරනවා මිසක් ඒ අනුපිළිවෙල වෙනස් කරන්න යන්න එපා කියලා.

ඔබ නිවස අස්පස් කරන්නේ මොන ආකාරයටද? කාමරෙන්, කාමරේටද එහෙම නැත්නම් දවසින් දවස ටික ටිකද? ඔබට කවදා හෝ තමුන්ගේ නිවස අස් කරලා ඉවරයක් කර ගන්න හැකි උනාද? මා සමග ඔබේ අත්දැකීම්නුත් බෙදා ගනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

ලිපිය ගොඩාක් දිගු වෙන නිසා මම ඊළඟට මේ checklist එක කොහොමද භාවිතා කරන්නෙ කියලා වෙනම පෝස්ට් එකක ලියලා ලින්ක් එක පහතින් සඳහන් කරනවා, ඔබට සොයාගන්න පහසු වෙන්න.



Comments