Moisturizers

Image result for moisturizing face no copyright free images

istock


වියළි සමක් කියන එක වෛද්‍ය විද්‍යාත්මකව එතරම් සැලකිල්ලක් දක්වන දෙයක් නොවුනට, ඒක බරපතල තත්වයක් දක්වාම දිව ගියොත් සම මතුපිට හටගන්නා පැලීම් තුවාල ආදිය තුලින් විෂ බීජ ඇතුළුවෙලා දැවිල්ලක් ඇතිවීම එහෙමත් නැත්නම් ඊට වඩා  බරපතල ආසාදන තත්වයන් පවා ඇතිවිය හැකියි. වියළි සමක් නිසා වන සැබෑම ප්‍රශ්ණය වෙන්නෙ එයින් ඇතිවන අපහසුතාවයයි. මෙවැනි සමක් වේදනාව ඇති කරන, ඇල්ලූ විට රිදෙන වගේම බොහෝ වෙලාවට කසන සුළු වීම හරිම කරදරයක්. ඒ වගේම ඒ කසන ස්ථානවල සුදු පැහැයෙන් නියපොතු පහරවල් ඉරි ඇන්දාක් මෙන් දිස් වෙනවා. කොරළ පිපෙනවා. වියළි සමක් තියෙන අයට මේක හරිම මානසික වදයක්.

වර්තමාන සමට සත්කාර කිරීමේ පිළිවෙත්වල Moisturizing කියන පියවර අනිවාර්ය අංගයක්. එහිදී මෙවැනි වියළි සමකට පමණක් නොවේ, සෝදා පිරිසිදු කරගත් ඕනෑම සමක් මතුපිට තෙතමනය රැක ගැනීමේ අරමුණෙන් Moisturizer ගැල්වීම සිදු කෙරෙනවා. නමුත් සම සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු කියන විදියට වෙළඳ පොලේ තියෙන වියළි සමක් සඳහා පාවිච්චි කරන ලෝෂන් වර්ග, ක්‍රීම් වර්ග Moisturizer කියලා විකිණුවාට ඒ  කියන යෙදුමේ ඒ හැටි වෛද්‍ය විද්‍යාත්මක වැදගත්කමක් නැහැ. ඒක අලෙවිකරණය පිළිබඳව යොදාගන්නා යෙදුමක් පමණයි. ඒ උනාට වෙළෙන්දො සෑහෙන කාලයකට කලින්, විද්‍යාව විකුණා ගත හැකි බව ඉගෙන ගෙන තියෙන නිසා විවිධාකාරයේ වෛද්‍ය විද්‍යාත්මක යෙදුම් මෙවැනි නිෂ්පාදන සඳහා යොදා ගන්නා බවයි කියන්නෙ. එහෙම බලාගෙන යනකොට මේ ක්‍රීම්වල සඳහන් කරලා තියෙන hypoallergenic, allergy tested වගේ යෙදුම් එයාලට පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ කිසිම ආණ්ඩුවක් විසින් ඒ සඳහා ප්‍රමිතියක් ඉදිරිපත් කරලා නැති නිසයි. ඒ හින්දා ඕන කෙනෙකුට එහෙම දේවල් සඳහන් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේවයෙ තියෙනවා කියලා කියන විටමින් වර්ගවල ලැයිස්තුව, ඇන්ටිඔක්සිඩන්ට්ස් වර්ග දැක්කම අපි හිතන්නෙ මේ ක්‍රීම් වර්ග වලින් අපේ සමට පෝෂණයක් ලැබෙනවා කියලයි. ඒ උනාට මේ  ක්‍රීම්වල තියෙන ඔය ජාති වලින් ඒ හැටි වෙනසක් නොවන බව කියන්නෙ, පාවිච්චි කරන ප්‍රමාණය ඉතාම කුඩා ප්‍රමාණයක් නිසාත්, ආලෝකයටත් ඔක්සිජන් වලටත් නිරාවරණය වීමෙන් විටමින් වර්ගවල තත්වය පහත වැටෙන නිසාත් බව ඉහත ලිපියෙම සඳහන් වෙනවා.

වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම මෙහෙම උනත්, Moisturizer පාවිච්චි කරලා තියෙන ඔබත් මමත් දන්නවා ඒක අපේ සමෙහි තෙතමනය පවත්වාගන්න උදව් කරන බව. එතකොට ඒක කොහොමද වෙන්නෙ? ඉහත ලිපියෙම කියනවා මේ ක්‍රීම් වර්ග වියළි සමට උදව් කරන්නෙ බොහොම සරල හේතුවක් නිසා කියලා. Moisturizer  ක්‍රීම් වලින් සම මතුපිටට ඉතා කුඩා ජල ප්‍රමාණයක් සැපයීමත්, එහි තියෙන තෙල් සහිත ද්‍රව්‍ය මගින් එය සම මතුපිට රඳවා තබා ගැනීමත් තමයි මේ සරල හේතුව. ඉතින් එයාලා කියන විදියට තෙල් සහිත බව ප්‍රශ්ණයක් නැත්නම්, ඉස්සර කාලෙ වියළි සමට පාවිච්චි කළ 100% සුදු පෙට්‍රෝලියම් වලිනුත් මේ කාර්යයම කෙරෙනවා. ඒ එක්කම කියනවා වෙළෙන්දො මොනවා මවා පෑවත්, ඕනෑම Moisturizing ක්‍රීම් වර්ගයක් බොහොමයක් වෙලාවට සමට අගුණයක් වෙන්නෙ නැති බව. එහෙම බලනකොට අපේ තෝරා ගැනීම රඳා පවතින්න ඕන මේවා ගෑවම සමට දැනෙන්නෙ මොන විදියටද, එහෙම නැත්නම් ඒකෙ සුවඳට අපි ආසයිද කියන හේතු මතයි. ඒ නිසා ඔබ කැමති වර්ගයක් තෝරාගෙන නිතර පාවිච්චි කරන්න.

අපි වෙලඳපොලෙන්  මිළදී ගන්න යනකොට අපට පේනවා ක්‍රීම් වර්ග වගේම ලෝෂන් වර්ගත් තියෙනවා. එතකොට අපි මොකක්ද තෝරා ගන්න ඕන? මේ දෙකේ වෙනස මොකක්ද?


Image result for moisturizing lotion no copyright images Image result for aveeno moisturizing cream no copyright images


ලෝෂන් එකක් කියන්නෙ මොකක්ද?

ක්‍රීම් වලයි ලෝෂන් වලයි තියෙන ලොකුම වෙනස තමයි, ලෝෂන් වල අඩංගු වතුර ප්‍රමාණය වැඩි එක. ඒ නිසා සමට එකපාරටම උරා ගන්නවා. සාමාන්‍යයෙන් ලෝෂන් එකක් කියන්නෙ වතුර වලයි, තෙල් බිංදු වලයි මිශ්‍රණයක්. ඒ වගේම මේවා ක්‍රීම් වලට වඩා තුනීයි. ගෑවාම තෙල් ගතියට දිලිසෙන්නෙත් නෑ, තෙල් ගතියක් දැනෙන්නෙත් නෑ. මේක වඩාත්ම ගැලපෙන්නෙ සාමාන්‍ය සමක ඉඳලා, යාන්තම් වියළි සමක් තියෙන අයටයි.


ක්‍රීම් එකක් කියන්නෙ මොකක්ද?

ලෝෂන් වගේම ක්‍රීම් කියන්නෙත් වතුර වලයි තෙල් වලයි මිශ්‍රණයක්. ඒ උනාට මේවයෙ තියෙන තෙල් ප්‍රමාණය 50:50 තරම් වැඩියි. ඒ නිසා ලෝෂන් වලට වඩා තෙල් ගතිය වැඩියි. සම දිලිසෙනවා. ක්‍රීම්, ලෝෂන් වලට වඩා උකු ගතියෙන් වැඩියි වගේම, සමෙහි තෙතමනය වඩාත් හොඳින් පවත්වා ගැනීමට බාධකයක් සපයනවා. ඒ නිසා වියළි සමක් ඇති අයට වඩාත් ගැලපෙන්නේ ක්‍රීම් වර්ගයක්.



Comments