දරුවන් පොතපත කියවීමට පුරුදු කරමු

Boys, Meadow, Kids, Hats, Read, Book, Field, Goats

pixabay: Victoria_Borodinova


මගේ දියණියන් දෙදෙනා කුඩා කාලයේදි එයාලගෙ අප්පච්චි වගේ ක්‍රීඩාවටම යොමු වෙලා පොත පතින් ඈත් වෙද්දි මට ඒක දරාගෙන ඉන්න බැරි වුනේ, මං පොත් කාවෙක් හින්දා. නමුත් එයාලා ඒ විදියට  ක්‍රීඩාවේ යෙදුනු එක ගැන මට කුඩා හෝ පසුතැවීමකුත් නැත්තෙ දරුවෙකුගෙ ජීවිතයට ක්‍රීඩාවෙන් ලැබෙන දේ අප්‍රමාණ නිසයි. ඒ උනාට මේ දියණියන් දෙදෙනාගෙ අම්මා එයාලට කුඩා පුස්තකාලයකට සරිලන්න පොත් එකතු කරන්න පටන් ගත්තෙ විවාහ වෙන්නත් කලින්. ඒත් රටවල් මාරු කරද්දි ඒවා උස්සගෙන එන එකට බලවත් විරෝධය පලවුනු නිසා, මගේ පොත් එකතුවෙන් වෙන්වෙලා ආවෙ දරාගන්න බැරි තරමේ දුකකින්.

දරුවන් පොත් කියවන්නේ නැතිව යනකොට මම කළේ අසල තිබූ පුස්තකාලයකට බැඳිලා එතැනින් පොත් අරගෙන එයාලට කියෙව්ව එක. විශේෂයෙන්ම රෑට නිදාගන්න ගියාම. එයාලා ඒකට ඇබ්බැහි වුනා කිව්වොත් හරි. ඊට පස්සෙ මම පොත් ගෙනැත් දීලා එයාලටම කියවගන්න ඇරියහම, ටිකෙන් ටික කියවන පැත්තට නැඹුරු වුනා. අන්තිමට කොයි තරම් ඒකට ඇබ්බැහි උනාද කිව්වොත් පාසැල් වැඩ නොකර පොත් කියවනකොට එයාලගෙ අප්පච්චිගෙන් බැණුම් ඇහුවෙ මම. ඒ උනාට ලොකු දුවගෙ නිර්මාණ ශක්තිය දියුණු වෙලා වයසට වඩා දක්ෂ විදියට කතන්දර නිර්මාණය කරන්න පටන් ගනිද්දි මටත් වඩා ආඩම්බර උනේ එයාලගෙ අප්පච්චි. දරුවො දෙන්නම ඉංග්‍රීසි භාෂාවට, සාහිත්‍යයට, නිර්මාණකරණයට දස්කම් පෙන්නුවේ අනිත් ළමයින් ඒ දේවල් ඉගෙන ගන්න පන්ති යද්දි. 

දැන් එයාලටත් තියෙනවා තරමක පුස්තකාලයක්.

මේ මගේ දරුවො පොත පත කියවන්න මා විසින් නැඹුරු කරන ලද ආකාරය උනත්, කුඩා කාලයෙදිම ඒ සඳහා නැඹුරුවක් ඇතිකරන්න නම් රෑට නිදාගන්න ගියාම එයාලට ඇහෙන්න පොත් කියවන එකම විතරක් නෙවේ කරන්න පුළුවන්. තව ක්‍රම ගොඩාක් තියෙනවා පොත් කියවන එක වැදගත් බව දරුවන්ට අවබෝධ කරවිය හැකි.

අනෙක් වැදගත්ම දේ තමයි පොතපත කියැවීමට නැඹුරු කරනවාක් මෙන්ම එයට ගෞරව කරන්නටද කුඩා දරුවාට පුරුදු පුහුණු කළ යුතු බව. පොත්වල පිටු නවා අවසන් වරට බැලූ ස්ථානය සලකුණු කිරීම කිසිසේත්ම සිදු කරන්නට එපා. ඒ සඳහා කුඩා බුක් මාර්ක් කිහිපයක් ඔබටම නිර්මාණය කරගත හැකියි. එසේම ප්‍රවේසමෙන් පොතක පිටු පෙරලන්නටද කුඩා දරුවාට කියා දෙන්න. ඔබ ඇඟිල්ලේ කෙළ ගා පොත්පත් වල පිටු පෙරලන අයෙකු නම්, කිසිසේත්ම ඒ දේ ඔබේ දරුවා ඉදිරියේ කරන්නට එපා. එය ඉතාමත්ම පිළිකුල් සහගතයි. පොතක පිටු පෙරලන්නේ ඔබ පමණක් නොවේ. හිතන්න එය පුස්තකාලයක පොතක් නම්, එය රැගෙන ගිය සිය දෙනෙක් එසේ පිටු පෙරලා ඇත්නම්, ඔබේ කෙළ ගෑ ඇඟිල්ල තබන්නේ ඔබට පෙර තව කෙනෙකු කෙළ ගෑ ස්ථානයක නම්, ඔබ යලිත් ඇඟිල්ල දිව ගාන විට සමහරවිට රසය වැඩිවෙලා තියේවි. එය හරිම අප්‍රසන්න පුරුද්දක්.

Instant Reading Party

කිසිම පූර්ව සූදානම් වීමකින් තොරව, කිසියම් කාර්යයක නියැලෙන අතරතුර ලැබෙන විනාඩි කිහිපයක විවේකයේදි, දරුවන් සමග පොතක කොටසක් හරි කියවන්න යොදාගත්තොත් නරකද? උදාහරණයක් විදියට අපි කේක් එකක් බේක් වෙන්න දැම්මා කියමු. කේක් එක බේක්වෙලා ඉවර වෙලා උදුනේ එලාම් එක වැදෙනකම් පුළුවන් පොතක් කියවන්න. ඉස්සරහට පොඩි අල්ලසකුත් ලැබෙනවානේ කේක් විදියට. මේ ආකාරයේ සරල ක්‍රමයක් ඔබටම නිර්මාණය කරගන්න පුළුවන්. ඔබට ඒකට නමක් දාගන්න පුළුවන් Cake Reading Party කියලා. මේකට පුරුදු කරගත්තම ඔබට තියෙන්නෙ ඒ නම කියලා කෑගහන්න විතරයි. දරුවො දුවලා ඒවි, ගොඩක් වෙලා එක තැනක ඉඳගෙන කියවන්න අවශ්‍ය නැති නිසා කේක් එක ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. අවස්ථාව අනුව, හදන කෑම වර්ගය අනුව මේ නම ඔබට වෙනස් කරගත හැකියි. 

දරුවන් ප්‍රිය කරන චරිත ඇති පොත් විශේෂ අවස්ථාවන් සඳහා තෑගි වශයෙන් පිරිනැමීම

දරුවන් කුඩා කාලයේ සිට ප්‍රිය කරනු ලබන චරිත තියෙනවා. මේවා ඔවුන්ගේ කාටූන් වීරයන් විය හැකියි. එසේ නැතහොත් ඔවුන් දුටු ස්නෝවයිට් කාටූන් එකක ස්නෝවයිට් විය හැකියි. මෙවැනි චරිත ඇතුලත් කතා පොත් අද වෙළඳ පොලේ සුලබයි. දරුවන්ගේ උපන්දින වලටත් වෙනයම් විශේෂ අවස්ථාවන් වලදිත් මෙවැනි පොත් තෑගි වශයෙන් ලබාදීම ඔවුන් කියැවීමට පොළඹවාවි. පසු කාලයකදී මේවා වෙනත් දරුවන්ට හෝ කිසියම් පුස්තකාලයකට පරිත්‍යාග කිරීමට ඔබට පුළුවන්.

එසේ ත්‍යාගයක් වශයෙන් ලබාදෙන පොතක ඔබට පුළුවන් විශේෂ සටහනක් යොදන්න. පසු කාලයකදී එය ආදරණීය මතක සටහනක් විය හැකියි. මගේ සීයාටත් තිබුනා කුඩා පුස්තකාලයක්. ඔහු තමා විසින් මිළදී ගත් සෑම පොතකම මුල් පිටුව සිය නම ලියා අත්සන් කොට, පොත මිළදී ගත් දිනය යොදා තිබෙනවා. ඒ කුඩා සටහන දිහා අදටත් මම බලන්නේ අපරිමිත සෙනෙහසකින්.


Visit Secondhand Bookshops


මම ලංකාවෙදි ගොඩක් හොඳ පොතපත මිළදී ගත්තෙ මේ ආකාරයේ පොත් කඩ වලින්. කිසිවෙකු විසින් පාවිච්චි කරන ලද පොතපත මිළෙන් අඩුයි. ඉතාම කුඩා මිළකට හොඳ තත්වයෙන් ඇති පොත්පත් රැසක් මිළදී ගන්නට පුළුවන්. ඕස්ට්‍රේලියාවෙ ජීවත් වෙන අයට මේ වගේ ස්ථාන බොහොමයක් සොයාගන්න පුළුවන්. ඒ වගේම සමහර පුස්තකාලවල සමහර පොතපත බොහෝ අඩු මුදලට විකුණන්නට තබා තියෙනවා. සමහර අවස්ථාවන්වල ශත විස්සක් වැනි ඉතාම සුළු මුදලකට මා මෙවැනි ස්ථාන වලින් පොත් මිළදී ගෙන තිබෙනවා. මෙවැනි ස්ථාන වලට ඔබේ දරුවන් රැගෙන ගොස් ඔවුන් කැමති පොත පත තෝරා ගන්නට දී ඒවා මිළදී ගන්න. ඔවුන් තෝරාගත් දේ නිසා ආශාවෙන් කියවාවි.

වර්තමානයේ නම් ප්‍රසිද්ධ පොත් ප්‍රදර්ශන තිබෙන බැවින් සුවඳ හමන අළුත් පොතපත අඩු මුදලකට මිළදී ගන්නට ඔබට අවස්ථාව ඇති. මෙවැනි ස්ථානවලට යෑම නිකම්ම විලාසිතාවක් පමණක් කර නොගෙන, ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.

දරුවන් කියවන දේ ඔබත් කියවන්න

දරුවන් ලොකු වන විට පන්තියේ නිර්දේශිත පොතපත කියවන්නට සිදුවීම, එය කියැවීමෙන් ලබන රසය අඩු කිරීමට සමත් වනවා කියන එක රහසක් නෙවේ. එහෙත් දරුවන් සමග ඒවා කියැවීමෙන්, එහි කියවා රස විඳීමට යමක් ඇතැයි යන අදහස ඔවුන්ගේ ඔළුවට යනු ඇති. ඒ ඇතැම් පොත් ඔබද කුඩා කළ ආශාවෙන් කියැවූ ඒවා වන්නට පුළුවන්. එසේ නොමැති නම් ඔබ ආශාවෙන් කියවන්නට බලා සිටි නමුත්, කියැවීම මග හැරුනු පොතක් විය හැකියි.

පොත් හුවමාරු කරගැනීම

මේ සඳහා දරුවන්ගේ උපන් දින සාද යොදා ගැනීම ඔබට පහසුවෙන් කරන්නට පුළුවන්. දරුවාටත් මිතුරන්ටත් ඔවුන් කියවා අවසන්ව ඇති පොතක් ගෙන එන්නට යැයි පවසා, තම තමුන් කියවා නැති පොත පත හුවමාරු කරගෙන කියැවිය හැකියි.



Comments