ඔබේ ගෙවත්තේ එළවළු වගා කිරීමට පෙර...

Vegetables, Vegetable Basket, Harvest, Garden, Salad

pixabay: congerdesign


ඔබ තමුන්ගේ ගෙවත්තේ එළවළු වගාවක් පටන් ගැනීමට බලාපොරොත්තු වෙනවා නම්, එහිදී වැදගත් වෙන්නේ පැල වැවුනාට පසු එහි පෙනුමට වඩා, එක ළඟ වැවූ විට හොඳින් වර්ධනය වන්නේ කුමන පැල වර්ගද යන්නයි. සමහර පැල වර්ග අනෙක් පැලවලට වැඩීමට අවශ්‍ය පෝෂණ කොටස් ඉවත් කරනවා. උස එළවළු පැල වලින් හිරු එළිය අවශ්‍ය කොට පැල වලට හිරු එළිය වැටීම වලක්වමින් සෙවන සදනවා. එකම පවුලට අයත් එළවළු පැල එකම වර්ගයේ පලිබෝධකයන් ආකර්ශනය කරගන්නා නිසා අවුරුද්දෙන් අවුරුද්දට ඒවා සිටුවන ස්ථානය වෙනස් කළ යුතු වෙනවා. මේ වගේ කරුණු රාශියක් පිළිබඳව ඔබේ ගෙවත්තේ එළවළු පැල හිටුවන්නට පෙර සැලකිලිමත් විය යුතුයි.

ප්‍රධානම කරුණ නම්, මේ පැල සිටුවීම කරන්නේ ඔබගේත් පවුලේ අයගේත් ආහාරය පිණිස නිසා, රසායන ද්‍රව්‍ය භාවිතයකින් තොරව මේ වගාවක් කිරීමට ඔබ කැමති වනවා නොඅනුමානයි.

එළවළු පැල සිටුවීමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු


බොහෝ එළවළු පැල වලට අවශ්‍ය වන්නේ සමාන වර්ධන අවශ්‍යතාවයන්වීම පහසුවක්. ඒ නිසා පාත්තිය සාදාගනු ලබන්නේ කුමන ස්ථානයකදැයි තීරණය කිරීමේදී පහත සඳහන් දේවල් පිළිබඳව සලකා බැලීම අවශ්‍ය වෙනවා.


හිරු එළිය


එළවළු පැල හිරු එළියට ආශා කරනවා. මේවා බොහොමයක් හොඳින්ම වැඩෙන්නේ පැය 6 - 8 හෝ ඊට වැඩි කාලයක් කෙලින්ම හිරු එළිය ලැබෙන ස්ථානයක. සලාද කොළ වගේ කොළ එළවළු වර්ග වලට නම් එතරම් හිරු එළියක් අවශ්‍ය වන්නේ නෑ. මේ වගේ ඒවා රස්නෙ කාලවලදි හොඳින් වැවෙනවා උස පැලවල හෙවන යට. ඒ කෙසේ වුවත් ඔබේ එළවළු පාත්තිය සඳහා හොඳින් හිරු එළිය වැටෙන ස්ථානයක් තෝරා ගැනීම කළයුතු වෙනවා.


පහසුවෙන් ළඟා විය හැකිවීම

ඔබේ එළවළු පාත්තියට සුදුසුම වන්නේ ජලය පහසුවෙන් ලබාගත හැකි සහ මුළුතැන්ගෙයට ආසන්න ස්ථානයක් වීමයි. එළවළු පැලවලට නිරතුරුවම ජලය අවශ්‍ය වෙනවා. ඒවාට හරියට ජලය ලැබුනේ නැති වුවහොත්, නොයෙකුත් ආකාරයේ ප්‍රශ්ණ ඒ වෙතින් ප්‍රදර්ශණය කෙරෙනවා. උදාහරණ විදියට සමහර ඒවා පැලෙනවා, සමහර ඒවායෙ ගෙඩි පලගන්නේ නැතිව යනවා, එහෙම නැතිනම් පොහොට්ටුවල අග කුණු වෙනවා.

මුළුතැන්ගෙයට හරි නිවසේ පිවිසුමකට ආසන්න ස්ථානයකින් හරි ඔබේ එළවළු පාත්තිය තිබෙනවා නම්, ඒක නිතර දකිනකොට ඒකට වතුර දාන්න, සාත්තු කරන්න අමතක වන්නේ නැහැ. ඒ වගේම උයන අතරතුරදි එළියට දුවගෙන ගිහින් මොනවා හරි නැවුම් දෙයක් ගෙවත්තෙන් නෙලා ගෙන ආහාරයට එකතු කරන්නත් හැකි වෙනවා.


පස

ඕනෑම ගෙවත්තක වඩාත්ම වැදගත් වෙන්නෙ පසයි. එළවළු පාත්තියක් හැදීමේදී මේකෙ වැදගත්කම තවත් වැඩියි. හැම අවුරුද්දකම අළුතෙන් සිටුවිය යුතු තක්කාලි, මිරිස්, වම්බටු, බන්ඩක්කා වගේ පැල, සම්පූර්ණ සීසන් එකම ගත කරන්නෙ මලුයි ගෙඩියි ලබාදෙන්න. මේවාට නිතරම හොඳට පෝෂණය වගේම සරු පසක්ද ලබා දීම වැදගත්. එසේ කළවිට ඒවාට හැදෙන ලෙඩ රෝග වගේම, පලිබෝධකයො ඒමත් වලකිනවා.

එළවළු පැල වතුර ගොඩේ බැහැලා ඉන්න කැමති නැති නිසා වතුර බහින ක්‍රමය පිළිබඳවද හොඳින් සලකා බැලියයුතු වෙනවා. ඒ වගේම පාත්තිය තිබෙන බිම සම බිමක් නොවන්නේ නම් බාධක යොදා අනවශ්‍ය ජලය (උදා: වාහන සෝදා ඉවත්වන ජලය ) ඇතුළුවීම වැලක්විය යුතුයි. ඒ වගේම ඔබ විසින් එකතු කරන සරු පස, ජලයෙන් සේදී නොයෑම සම්බන්ධයෙනුත් වගබලා ගත යුතුයි.

අවශ්‍ය උපකරණ

Planting, Spring, Herbs, Gardening, Plants, Tools

pixabay:jillwellington


අනිත් හැම දෙයටම මෙන්ම ගෙවතු වගාවටත් අත්‍යවශ්‍ය උපකරණ තිබෙනවා. මේක කොටස් දෙකකට බෙදුවොත් පාත්තිය නිර්මාණය කිරීම සඳහා එක් උපකරණ කට්ටලයකුත්, එයට සාත්තු සප්පායම් කිරීම සඳහා තවත් උපකරණ කට්ටලයකුත් අවශ්‍ය වෙනවා.

පාත්තියක් නිර්මාණය කිරීමේදී පස පෙරලීමට අවශ්‍ය වන නිසා, ඒ සඳහා අවශ්‍ය මූලික මෙවලම් විදියට සවලත්, මුල්ලුවත්, ගෙවතු වගාව සඳහා යොදාගන්නා හැන්දකුත් දැක්විය හැකියි.

ඔබගේ පැල වැඩෙන්නට ගත් පසු උදැල්ලක්, වතුර දැමීම සඳහා අවශ්‍ය හෝස් එකක්, අලවංගුවක්, ට්වයින් නූල් (හන නූල් ), අතු පාහින උපකරණයක් යන ද්‍රව්‍ය අවශ්‍ය විය හැකියි.


වැට

වැටක් ගැසී වැදගත් වෙන්නේ එළවළු වර්ග ආහාරයට ගන්නේ ඔබ පමණක් නොවන නිසායි. ඇතැම් සතුන් ආහාරයට ගන්නේ ඔබේ මහන්සියේ පලදාව වන ගෙඩි වර්ග පමණක් නොවේ. සම්පූර්ණ කොළ වගාවක්ම එක රැයකින් කා දමන සතුන් සිටිනවා. කුරුල්ලන්ගෙන් බේරා ගැනීමට අවශ්‍ය නම් ඉහලින්ද ආවරණයක් යෙදිය යුතු වෙනවා. මේ සඳහා දැලක් යොදාගත හැකියි. නමුත් ඌරු මීයන් වැනි ඇතැම් සතුන්ට පසේ ගුල් හාරාගෙන වැටෙන් අනෙක් පසට යා හැකි බවද අමතක කරන්න එපා.



Comments