IKIGAI - ජීවිතයට අරුතක් ගෙන එන්නට….




Image result for meaningful life ikigai


කාටද අවශ්‍ය නොවෙන්නෙ සතුටෙන් පිරුනු, අර්ථ පූර්ණ, දීර්ඝ කාලීන ජීවිතයක් සෞඛ්‍යසම්පන්නව ගත කරන්න. එහෙම ජීවිතයක් ලැබෙන කෙනා වාසනාවන්තයෙක් වෙන්න ඕන කියලනෙ කවුරුත් හිතන්නෙ. ඒත් එහෙම ජීවත් වෙන අය ඇත්තටම ඉන්නවද? එහෙම වාසනාවන්තයන් පිරිසක් ජීවත් වෙනවලු, ජපානයේ දකුණට වෙන්න තියෙන ඔකිනාවා දූපත් සමූහයේ. ලෝකයේ ජනගහණය අතරින් මේ දූපත්වල ජීවත් වෙන  මිනිස්සුන්ගෙ දිගු ජීවිත කාලයන් නිසාත්, එයාලා අතර සිටින අවුරුදු සියය පසු කරපු ගැහැණු මිනිස්සු සංඛ්‍යාව නිසාත්  ඔකිනාවා හඳුන්වලා තියෙන්නෙ 'නොමැරෙන මිනිස්සුන්ගේ දේශය' කියලයි. ඒ විතරක් නෙවේ. අවුරුදු 97 පහු කරපු අයගෙන් 2/3 ක්ම ජීවත් වෙන්නෙ ස්වාධීනවලු. ඒ වගේම මේ අය අතරෙ හදවත් රෝග, දියවැඩියාව, පිළිකා වගේ ලෙඩ හරිම අඩුයිලු. මේ අයගෙ දීර්ඝ කාලීන ජීවිතයේ සම්ප්‍රදායක්ලු ළමා කාලයෙන් පටන් ගෙන අවුරුදු 100 පහු කරන තුරුම එකිනෙකාට උපකාර වන සමාජ සම්බන්ධතා පද්ධතියක් පවත්වාගෙන යාම. ඒ ක්‍රමය මුලින්ම ඇතිවෙලා තියෙන්නෙ ගමේ අයට මූල්‍යමය සහයෝගය ලබා දෙන ක්‍රමයක් හැටියට. ගමේ පොදු කටයුත්තකදි හරි වෙන මොනවා හරි අවශ්‍යතාවයක් ඇතිවුනු වෙලාවල් වලදි එකිනෙකා ළඟ තියෙන සම්පත් එකට එකතු කරගැනීම තමයි ඉස්සෙල්ලම සිද්ද වෙලා තියෙන්නෙ. උදාහරණයක් විදියට කාට හරි ඉඩමක් මිළදී ගන්න මූලික මුදලක් අවශ්‍ය උනා නම් හරි වෙන මොකක් හරි හදිසියක් වුනා නම්, තිබිලා තියෙන එකම ක්‍රමය තමයි අදාල කණ්ඩායමේ ඉන්න හැමෝම ළඟ තියෙන මුදල් එකට එකතු කර ගැනීම. ඒක තමයි මේ අද තියෙන තත්වයට දියුණුවෙලා තියෙනවා කියන්නෙ. මේ වගේ කණ්ඩායම් වලට කියන්නෙ 'moai' කියලා. හරිම පුදුමයි නේද? මෙයාලා කොහොමද මේක කරන්නෙ? එහෙම පරාර්ථකාමීව හිතන්න මොන තරම් මානසික වර්ධනයක් තියෙන්න ඕනද. කාට හරි පොඩි මුදලක් හරි ණයට දුන්න කෙනා ඒක ආපහු ලැබෙයිද නැද්ද කියලා මොන තරම් බයෙන්ද ඉන්නෙ. එහෙව් ලෝකෙ මේ වගේ මානසික තත්වයක් හදාගන්න එයාලා මොකක් හරි විශේෂ දෙයක් කරනවා වෙන්න ඕන. මොකක්ද මෙයාලගෙ මේ රහස? අන්න ඒ රහස තනි වචනයකට ගොනු කළාම, ඒකට තමයි කියන්නෙ Ikigai කියලා.

okinawan-women-moaiජපන් භාෂාවෙන් 'Iki-' කියලා කියන්නෙ 'ජීවත් වන්නට' කියන එකයි. ඒ වගේම '-gai' කියන්නෙ 'හේතුව' කියන එකයි. එතකොට මේ  කියන වචනෙ සිංහල තේරුම වෙන්නෙ 'ජීවත් වන්නට හේතුව' කියලයි.  ඉංග්‍රීසියෙන් කියන්නෙ 'reason for being' කියලයි. මේ සංකල්පය අනාදිමත් කාලයක ඉඳලා පැවතීගෙන එන දෙයක් උනත්, මේ ගැන ලෝකය පුරාම අවධානය යොමු වෙන්න පටන් අරන් තියෙන්නෙ බොහොම මෑතකදි. 

2009 දි Dan Buettner  කියන මාධ්‍යවේදියා ලෝකයේ මිනිස්සු දිගු කාලයක් ජීවත් වෙන ස්ථාන පහක් සම්බන්ධ තොරතුරු සොයලා තියෙනවා. එයා කියන විදියට මේ ඔකිනාවා වාසීන්ට තමයි ඉහළම ආයුෂ අපේක්ෂාවක්, ඒ කියන්නෙ life expectancy එකක් තිබිල තියෙන්නෙ. එයාගෙ වීඩියෝ එක මෙතන තියෙනවා.එයා කියන විදියට අපි අපේ ජීවිතයේ වැඩිහිටි කාලය, වැඩ කරන කාලයත්, විශ්‍රාම සුවයෙන් කල් ගෙවන කාලයත් කියලා කොටස් දෙකකට බෙදුවට ඔකිනාවා වාසීන් අතර 'විශ්‍රාම ගැනීම' කියන වචනයක්වත් කියැවෙන්නෙ නෑ. සරලවම කිව්වොත් ඒ වෙනුවට තියෙන්නෙ 'තමා උදේ පාන්දර අවදි වීමට හේතුව' එහෙම නැතොත් Ikigai කියන එකයි.

මේ මාධ්‍යවේදියා පෙන්වලා දෙනවා ඔකිනාවාවාසීන් කිහිපදෙනෙකුගෙ Ikigai එක ගැන මේ විදියට. අවුරුදු 101ක් වයස ධීවරයට ඒක සතියට තුන් වරක් තමුන්ගෙ පවුලේ අය වෙනුවෙන් මාළු අල්ලන්න යන එක, අවුරුදු 102ක් වයස මහළු කාන්තාව කියන විදියට එයාගෙ මිණිබිරීගෙත් මිණිබිරීගෙ පුංචිම පුංචි දරුවා තුරුළු කරගෙන ඉන්න එක, අවුරුදු 102ක් වයස කරාටේ මාස්ටර්ට කරාටේ උගන්වන එක. මේ ඔක්කොම අරගෙන බැලුවම, මේ බොහොම සරල ජීවන වටිනාකම් වලින් අපට  හිතාගන්න පුළුවන් Ikigai වල සාරය හැදිලා තියෙන්නෙ මොකකින්ද කියලා. ඒක හැදිලා තියෙන්නෙ ජීවිතයට අරමුණක්, තේරුමක් වගේම පෙළැඹවීමක් ඇතිකරන සුළු දේවල් වල එකතුවකින්. 

ඔයාලා හිතල බලන්න ඔයාලගෙ ජීවිතවල එහෙම දෙයක් තියෙනවද කියලා. එකපාරටම හිතාගන්න අමාරුයි නේද? 

අපි අපේ Ikigai සොයාගත යුත්තේ ඇයි?


Image result for happiness of life brown and white free images


අපි උදේ පාන්දර නැගිට්ටට පස්සෙ දවස ඇතුලත කරන්න තියෙන අටෝරාශියක් වැඩ ගැන කල්පනා කරද්දි අපෙන් කී දෙනෙකුට ඒ ගැන ආසාවක් ඇතිවෙනද? වැඩිපුරම තියෙන්නෙ කිසිම පෙළැඹවීමක් දැනෙන්නෙ නැති එපා කරපු වැඩ. උදේ පාන්දර තද නින්දෙ ඉන්දැද්දි එලාම් එකේ සද්දෙට උඩ ගිහින් ඇහැරෙන්නෙම 'මේ මොන කරුමයක්ද' කියල හිතෙද්දි. ඊළඟට කාන්තාවක් නම් උයන්න ඕන, වැඩට යන්න බත් බඳින්න ඕන, ඒ ඔක්කොමත් කරලා වෙලාවට ලෑස්තිවෙලා වැඩට යන්නත් ඕන. තමුන් ආශා කරන රස්සාවක් කරන්නෙ අපි අතරින් කී දෙනාද? බොහෝ දෙනෙක් අකමැති රස්සාවල් කරන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා. මේවා ඔළුවට එනකොට ඇඳෙන් බහින්න කලින්ම හිතටත් ගතටත් දැනෙන්නෙ මහා වෙහෙසක්.

අන්න ඒ නිසා තමයි, මේ වගේ උදෙන් නැගිටින වෙලාවෙදි හිතට සතුටක් දැනෙනවට කැමති නම්, උදේ පාන්දරම සතුටක් ඇති කරවන, දුවලා ගිහින් වැඩ ටික ඉක්මනට ඉවර කරන විදියේ පෙළැඹවීමක් හිතේ ඇති කරවන විදියේ පුරුදු ඇති කරගැනීම ගොඩක් වැදගත් වෙන්නෙ.

අපි කොහොමද අපේ Ikigai සොයාගන්නෙ?


Awakening Your Ikigai කියන පොතේ කතුවරයා වන Ken Mogiට අනුව, උදේ පානදර හිරු නැගගෙන එනවා වගේ දැනෙන මේ මැජික් එකක් වගේ හැඟීම, තමුන්ගේ Ikigai එක පිටතට දිස්වන පුරුදු ඇති කරගැනීම වගේම සරල දෙයක්.

ඒ උනාට තමුන්ගෙ ජීවිතේ අරමුණ දන්නෙ නැත්නම් මොකද කරන්නෙ? Mogi කියන විදියට ඒක තමුන් මේ වෘත්තියට සුදුසුයි කියලා තමුන්ටම දැඩි හැඟීමක් දැනෙන දෙයක්ම විය යුතු නැහැ. ඊට වඩා තමුන්ගෙ ඇතුලාන්තයෙන්ම දැඩි සතුටක් ඇති කරවන දේ සොයා ගැනීමයි මෙහිදී කළයුතු වෙන්නෙ. මේ සඳහා සාමාන්‍යයෙන් දේවල් පහක් ගැන සිතිය යුතු වෙනවා. පුංචි ආරම්භයක්, තමුන් කවුද කියලා හරියටම තේරුම් අරගෙන ඒක පිළිගැනීම, අනිත් අය සමගත් ලෝකයත් සමගත් සම්බන්ධතා ඇති කර ගැනීම, පුංචි, පුංචි දේවල් වලින් සතුටක් සොයා ගන්න උත්සාහ කිරීම වගේම වර්තමානයේ ජීවත්වීම කියන පහ තමයි ඒ. 

දැන් අපි බලමු මේ පහ කොහොමද මේකට අදාල වෙන්නෙ කියලා.

පුංචි ආරම්භයක්

පුංචියට පටන් අරන්, තියන සෑම අඩියක්ම බොහොම පරෙස්සමින් තියන එක තමයි මේකෙ ආවේනික ගති ලක්ෂණය වෙන්නෙ. ඒ සඳහා අදාල කටයුත්තට ඇවැසි සෑම දෙයක් සම්බන්ධයෙන්ම අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. එහෙම පටන් අරන් කාලයක් තිස්සෙ ඒ දේ කරනකොට තමුන්ට හැකියාව ලැබෙනවා ඒකෙ පරතෙරටම යන්න. උදාහරණයක් විදියට මොකක් හරි භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න පටන් ගත්තා නම්, ඒක පුංචියට පටන් අරන්, අපේ අවධානය ඊට සම්බන්ධ හැම දෙයකටම යොමු කරලා ඒක වැඩි දියුණු කරන්න හැම අවස්ථාවකදිම උත්සාහ කළොත් කාලයක් යද්දි අපේ අතට ලැබෙන ප්‍රතිඵලය විශිෂ්ට එකක් කරගන්න පුළුවන්.

තමුන් කවුද කියලා හරියටම තේරුම් අරගෙන ඒක පිළිගැනීම

මේකෙන් කියන්නෙ තමුන් කවුද කියලා හරියටම තේරුම් අරගෙන, ඒ තේරුම් ගැනීම ඒ විදියටම භාර අරගෙන, ඒක වෙනස් කරන්න කරදර වෙන්න යන්නෙ නැතුව අතහැරලා දාන එක. තමුන්ව අනිත් මිනිස්සුන්ට පේන්නෙ මොන විදියටද කියලා වද වෙනවා වෙනුවට අපි අපේ අනිත් වැදගත් වැඩ වලට අවධානය යොමු කිරීම. තමුන්ට පුළුවන් නම් මේ කඩුල්ල පැනගෙන තමුන්ව තමුන් විදියටම භාර අරගෙන, තමුන් කවුද කියන එකෙන් සතුටු වෙන්න ඒක පුදුම විදියේ වටිනා ප්‍රතිඵල ලබා දෙන අත්දැකීමක් වේවි.

අනිත් අය සමගත් ලෝකයත් සමගත් සම්බන්ධතා ඇති කර ගැනීම

මෙතනදි කියැවෙන්නෙ අපි කරන කියන සෑම දෙයක්ම අනිත් අයට බලපෑමක් ඇති කරනවා කියන එකයි. තමුන් හැම තිස්සෙම අනිත් අයත් එක්ක රණ්ඩු වෙන කෙනෙක් නම්, තමුන්ට තමුන්ගෙ අරමුණට ලඟා වෙන්න බැරි වෙනවා. මේකෙන් කියැවෙන්නෙ අපි අපිව තෘප්තිමත් කරගන්න තරමටම අනිත් අයවත් රැක බලාගෙන ඒ අයගෙ තත්වයත් නගා සිටුවිය යුතු බවයි. Mogi අපට කියනවා තමුන් මහ කැලේක තියෙන ගහක් කියලා හිතන්නලු. මම කියන්නෙ තනි ගහක් උනාට අපි හැමෝම එකතුවෙලා එකිනෙකාගෙන් යැපෙනවා අපේ වර්ධනයට. ඒ වගේ අපි එකිනෙකාට සම්බන්ධ සමූහයක් කියන හැඟීම, ජීවිතේ වඩාත්ම අභියෝගකාරී අවස්ථාවල එකිනෙකාට උදව් කරගන්න පුළුවන් බොහොම ශක්තිමත් සහයෝගී පද්ධතියක් තමුන්ට ලබා දේවි.

පුංචි, පුංචි දේවල් වලින් සතුටක් සොයා ගන්න උත්සාහ කිරීම

තමුන්ට පුළුවන් නම් උදේ පාන්දර අවදි වුනු ගමන් මිදුලට බැහැලා පෙනහළු පුරවලා ඇදගන්න සුසුමකින් සතුටු වෙන්න, එහෙම නැත්නම් පිණි බිංදුවක් උඩට හිරු රැස් වැටිලා දිලිසෙන හැටි බලලා සතුටු වෙන්න…. අන්න ඒ වගේ පුංචි දේවල් වලින් සතුට සොයා යෑම ගැනයි මෙතනදි කියන්නෙ. සමහර වෙලාවට වෙනත් කෙනෙකුගේ පුංචි හැසිරීමක් එහෙම නැත්නම් මොකක් හරි පුංචි අත්දැකීමක් තමුන්ට සතුට ගෙන එන හැටි බලන්න. ඒක සමහරවිට තමුන්ට උදේ පාන්දර සතුටෙන් අවදි වෙන්න හේතුවෙන කාරණාවේ එක් පුංචි කොටසක් වෙන්න පුළුවන්. මෙයින් කියැවෙන්නෙ ඒ දේවල්වල අවසාන ප්‍රතිඵලය ගැන වද වෙන්න යනවට වඩා ඒ ක්‍රියාවලිය අගය කොට සලකන්න කියන එකයි. 

වර්තමානයේ ජීවත්වීම

මෙතැනදි කියන්නෙ අපි මේ මොහොත තුල ඉන්නකොට ඒ මොහොතෙ තමා ඉදිරියේ තියෙන දේවල් අගය කරන්න තමුන්ට පුළුවන් කියලා. අපි මොනවා හරි දෙයක් නිර්මාණය කරමින් ඉන්නවා නම් හරි, තමුන් නිර්මාණශීලී කෙනෙක් නම් හරි මේක විශේෂයෙන්ම වැදගත් වෙනවා.

Image result for crafting



තමුන්ගෙ මොකක් හරි පුරුද්දක් තියෙනවා නම් ඔය ඉහත පෙන්වලා දීපු කොටස් පහ අතරින් වැඩි කොටසකට වැටෙන, අන්න එතනින් පටන් ගන්න පුළුවන්. ඒ ආරම්භය තමුන්ව සතුටුදායක දවසකට සූදානම් කරවාවි. විශේෂයෙන්ම දවසේ ආරම්භය නරක විදියට සිදු උනා නම්, එහෙම නැත්නම් කර  හැම දෙයකින්ම බලාපොරොත්තු නැති නරක විදියේ ප්‍රතිඵල ලැබෙන දවසක් නම්, පුංචි පුංචි දේවල් වලින් සතුට සොයා යන්න පුරුදු උනොත් තමුන්ගෙ හිතේ තියෙන වියවුල් ගතිය මග හැර ගන්න පුළුවන් වේවි.

මේක තමුන්ගෙ ආරම්භය විදියට අරගෙන, ප්‍රායෝගිකව මේක තමුන්ගෙ ජීවිතයට වැදගත් වෙන්නෙ කොහොමද කියල තවදුරටත් සොයන්න. ඊට පස්සෙ ඒකෙ ප්‍රතිඵලය තමුන්ගෙ හිතට දැනෙන්නෙ කොහොමද කියලා කල්පනාවෙන් ඉන්න. මේ ව්‍යායාමය තමුන්ගෙ ජීවිතයට යම් කිසිවක් එකතු කරනවා නම්, තමුන්ගෙ ජීවිතයට ශක්තියක් ලබා දෙනවා නම්, මේ දේවල් තමුන්ව හිතන්න පොළඹවනවා නම් වගේම තව තවත් ඒ දේවල් කරන්න තදබල ආශාවක් ඇතිවෙනවා නම්, එහෙනම් ඒකෙන් පේන්නෙ තමුන් හරි පාරට වැටිලා තියෙන බවයි.

දැන් ඔයාලගෙ වාරය. ඔයගොල්ලන්ට මොකද හිතෙන්නෙ? ඔයාලා දැනටමත් තමුන්ගෙ  Ikigai එක සොයාගෙනද තියෙන්නෙ? එහෙම නැත්නම් තවමත් සොයනවද? ඔයාලගෙ අත්දැකීම්නුත් මාත් එක්ක බෙදා ගන්න.



පින්තූර අන්තර්ජාලයෙනි.


Comments