දරුවෝ ඇති අම්මාලා.... තාත්තාලා….

Image result for mr rogers neighborhood

ඔබ දරුවන් ඉන්නා අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් මම ඔබට ආරාධනා කරනවා මාත් එක්ක පොඩි ගමනක් යන්න එන්න කියලා. ඊට කලින් මං පොඩි හැඳින්වීමක් කරන්නම් මේ මිස්ටර් රොජර්ස් කියන්නෙ කවුද, එයා කළේ මොකක්ද කියලා.

ඇමරිකන් ටෙලිවිෂන් ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබූ ෆ්‍රෙඩ් රොජර්ස් නොහොත් මිස්ටර් රොජර්ස් (1928 - 2003) කියන්නෙ දරුවන් වෙනුවෙන් වැඩසටහන් නිෂ්පාදනය කළ බොහොම ආදරණීය මිනිසෙක්. එයා නිෂ්පාදනය කළ කොටස් 900 කට ආසන්න ප්‍රමාණයකින් යුත් Mister Rogers' Neighbourhood වැඩසටහන දරුවන්ගෙ සිත් තුලට කතා කළා බොහොම ආදරෙන්, සංවේදීව වගේම අවංකව. මිස්ටර් රොජර්ස්ගෙ වැඩසටහන් එක්ක වැඩුනු දරුවන්ට එයා කියලා දුන්නෙ එකිනෙකාට ගරු කිරීම, දයාව, කරුණාව, අවංකකම වගේම නිහතමානීකම කියන මානුෂික ගුණාංගයි. මේ වටිනාකම් දරුවන්ට දීම සඳහා එයාගෙ සෑම වැඩසටහනක්ම ඉදිරිපත් කිරීමේදී බොහොම ප්‍රවේසම් සහගත වෙලා තියෙනවා. එයා තරයේම කියල තියෙනවා එයාගෙ වැඩසටහන තුල රූකඩයක් හරි මනුස්සයෙක් හරි කතා කරන සෑම වචනයක්ම සියුම් ලෙස පරීක්ෂාවට ලක් කළ යුතුයි කියලා. ඒකට හේතුව එයාගෙ ප්‍රධානම නරඹන්නන් වුනු පෙර පාසැල් වියේ දරුවන් දේවල් තේරුම් ගන්නෙ හරියටම වචනාර්ථයෙන් (literally) බව එයා දැනගෙන සිටීමයි. මේ පිළිබඳව එයාගෙ වැඩසටහන නිෂ්පාදනය කළ ආතර් ග්‍රීන්වෝල්ඩ් කියන පුද්ගලයා මෙහෙම කියනවා.

“There were no accidents on Mister Rogers’ Neighborhood.” He took great pains not to mislead or confuse children, and his team of writers joked that his on-air manner of speaking amounted to a distinct language they called “Freddish.”
Fundamentally, Freddish anticipated the ways its listeners might misinterpret what was being said. For instance, Greenwald mentioned a scene in a hospital in which a nurse inflating a blood-pressure cuff originally said “I’m going to blow this up.” Greenwald recalls: “Fred made us redub the line, saying, ‘I’m going to puff this up with some air,’ because ‘blow it up’ might sound like there’s an explosion, and he didn’t want the kids to cover their ears and miss what would happen next.”

අද මේ වැඩසටහන් සැලකෙන්නෙ ජාතික වස්තුවක් විදියට.

දරුවන් ඉන්න අම්මලා තාත්තලාට මිස්ටර් රොජර්ස්ගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඔබ බලන්න දරුවන් සමග අදහස් හුවමාරු කර ගැනීමේදී ඔහුගේ ප්‍රවේශය මොකක්ද කියලා මේ වීඩියෝ එකෙන්.



මේ ළමයින් හික්මවීම ගැන එයා කරපු වැඩසටහනක්. අම්මලා තාත්තලා බොහෝ විට අමාරුවේ වැටෙන තැන.



මෙතැන තියෙන්නෙ එයා අළුතෙන් ඇති කරන ලද මහජන ප්‍රදර්ශනය සඳහා වැඩසටහන් නිපදවන ලාභ නොලබන ආයතනයක් වෙනුවෙන් රජයෙන් වෙන් කරපු මුදල භාගයකට කපා දාන්න යෝජනාවක් පැමිණි වෙලේ, එහෙම කරන්න එපා කියලා එයා සෙනෙට් සභාවෙන් පත් කරපු අනු කමිටුවක් ඉදිරියේ සාක්ෂි දුන් ආකාරයයි. බලන්න එයා කතා කරන විදිය. තරහ ගන්නෙ නැතිව බොහොම සන්සුන්ව කතා කරන ආකාරය. අද අපි අපේ පාර්ලිමේන්තුවේ දකින්නෙ මොනවද? කුළල් කා ගන්න, අනුන්ව නහන්න උත්සාහ කරන පාර්ලිමේන්තු සභිකයො.  කිසිම දෙයක් සන්සුන්ව කතා කරන්න ඉඩ දෙනවාවත්, කවුරුවත් සන්සුන්ව කතා කරනවාවත් දැකලා තියෙනවද? ඩොලර් මිලියන විස්ස දහයක් කරන්න ගිය වෙලේ, බොහොම දරදඬු සෙනෙට් සභිකයෙකු කියා සැලකෙන පුද්ගලයෙකු ඉදිරියේ මේ කරපු ප්‍රසිද්ධ කතාවෙන් පස්සෙ, අර කියපු ඩොලර් මිලියන විස්ස කපා නොදැම්මා පමණක් නොවේ, ඒ වෙනුවෙන් රජයෙන් මිලියන විසි දෙකක්ම ලැබී තිබෙනවා. 



මිස්ටර් රොජර්ස් දරුවන් වෙත අදහස් ප්‍රවේශ කිරීම සම්බන්ධව පියවර 9ක් අනුගමනය කරලා තියෙනවා.

1. දරුවන්ට දෙන්න ඔබ බලාපොරොත්තු වන අදහස හැකි තරම් පැහැදිලිව කියන්න ඕන, පෙර පාසැල් වියේ දරුවන්ට තේරුම් ගන්න පුළුවන් විදියට. උදා: "පාරෙ සෙල්ලම් කරන එක අනතුරුදායකයි."

2. එම අදහස ධනාත්මක විදියට වෙනත් අයුරකින් ප්‍රකාශ කරන්න. උදා: "ප්‍රවේසම් තැනක සෙල්ලම් කරන එක හොඳයි."

3. පෙර පාසැල් වියේ දරුවන්ට තවම සියුම් වෙනස්කම් තේරුම් ගන්න හැකියාව නැති බවත්, ඒ නිසා එයාලා විශ්වාස කරන වගකීමක් ඇති කෙනෙක් වෙතට පවසන දේ හැරවිය යුතු බවත් මතක තබාගෙන ඔබේ අදහස වෙනත් අයුරකින් පවසන්න.             උදා: "අම්මගෙනුයි තාත්තගෙනුයි අහන්නකෝ පරෙස්සමින් සෙල්ලම් කරන්න පුළුවන් කොහේද කියලා."

4. නීතියක් පනවන විදියේ එහෙම නැත්නම් අණ දෙන ස්වරූපයක් ඇති, උපදෙස් දෙනවා වගේ හැඟීමක් ඇති කරන විදියේ වචන ඉවත් කොට වෙන විදියකට කියන්න. ඒකෙ තේරුම ඉහත සඳන් කළ උදාහරණය ගෙන බැලුවහොත් "අහන්නකෝ" කියන වචනය ඉවත් කිරීමයි. උදා: "අම්මයි තාත්තයි ඔයාට කියාවි පරෙස්සමින් සෙල්ලම් කරන්න හොඳ කොහේද කියලා."

5. නිශ්චිත අවිනිශ්චිත භාවය ගැන කියැවෙන වචන ඉවත් කරලා වෙනත් අයුරකින් කියන්න. මෙතැනදි අයින් කරන්න වෙන්නෙ 'කියාවි' කියන වචනය. උදා: "ඔයාගෙ අම්මටයි තාත්තටයි පුළුවන් පරෙස්සමින් සෙල්ලම් කරන්න පුළුවන් තැනක් ගැන කියන්න."

6. හැම දරුවෙකුටම අදාල වෙන්නෙ නැති වචන ඉවත් කරලා ඔබේ අදහස ප්‍රකාශ කරන්න. මෙතැනදි එයා කියන්නෙ හැම දරුවෙක්ම තමුන්ගෙ අම්මා තාත්තා ගැන දන්නෙ නෑ කියන එක. උදා: "ඔයා ආසම කරන ලොකු අයට පුළුවන් පරෙස්සමෙන් සෙල්ලම් කරන්න පුළුවන් කොහේද කියලා ඔයාට කියන්න. ඒගොල්ලන් කියන දේ අහන එක හොඳයි."

7. පෙර පාසැල් වියේ දරුවන්ට ඔබේ අවවාදය පිලිපදින්න පොළඹවන සුළු අදහසක් සරලව එකතු කරන්න. සමහරවිට මෙහෙම වෙන්න පුළුවන්. "ඔයා ආසම කරන ලොකු අයට පුළුවන් පරෙස්සමෙන් සෙල්ලම් කරන්න පුළුවන් කොහේද කියලා ඔයාට කියන්න. ඒ අයට ඇහුම්කන් දෙන එක හොඳ පුරුද්දක්."

8. ඉහත යොදා ගැනුනු 'හොඳ' කියන වචනය කෙනෙකුගෙ ගුණාත්මක භාවය තීන්දු කරන වචනයක් නිසා, ඔබේ අදහස වෙනත් විදියකට කියන්න. "ඔයා ආසම කරන ලොකු අයට පුළුවන් පරෙස්සමෙන් සෙල්ලම් කරන්න පුළුවන් කොහේද කියලා ඔයාට කියන්න. ඒ අයට ඇහුම්කන් දෙන්න උත්සාහ කරන එක වැදගත්."

9. ඔබේ අදහස, පෙර පාසැල් වියේ දරුවෙකුට තේරුම් ගත හැකි ආකාරයට, ලොකු මහත් වන විට කළයුතු දෙයක් බවට හැඟවෙන කොටසකුත් එකතු කර අවසාන වතාවටත් වෙනත් අයුරකින් ප්‍රකාශ කරන්න. "ඔයා ආසම කරන ලොකු අයට පුළුවන් පරෙස්සමෙන් සෙල්ලම් කරන්න පුළුවන් කොහේද කියලා ඔයාට කියන්න. ඒ අයට ඇහුම්කන් දෙන්න උත්සාහ කරන එක වැදගත්. ඇහුම්කන් දෙන එක ලොකු වෙනකොට කරන්න ඕන වැදගත්ම දෙයක්."

අම්මෙකුට තාත්තෙකුට මිස්ටර් රොජර්ස්ගෙ මේ අදහස් වඩාත්ම වැදගත් වෙන්නෙ දරුවෙක්ගෙ හිතට කාවදින විදියට යම්කිසි අවවාදයක් කරන්න අවශ්‍ය වූ විටයි. එයා කියන වැදගත්ම දේ තමයි කිසිම වෙලාවක දරුවෙකුට මේ දේවල් පටලවන්න එපා කියන එක. අදහස නිරවුල්ව, පැහැදිලි විදියට දරුවන්ට තේරුම් ගන්න පුළුවන් විදියට එයාලගෙ හිතට ප්‍රවේශ කිරීම කළයුතු වෙනවා කියලයි මිස්ටර් රොජර්ස් කියන්නෙ.

මේ ලිපියෙන් පෙර පාසැල් වියේ දරුවන්ට අදහස් සම්ප්‍රේශණය කිරීම සම්බන්ධව යම්කිසි අදහසක් ඔබට ලැබෙන්නට ඇතැයි මං හිතනවා. ඒ වගේම මං කැමතියි ඔබ ඔබේ දරුවන්ට අදහස් ප්‍රකාශ කිරීමේදී යොදා ගත්තෙ මොනවගේ ක්‍රමයක්ද, ඒක හරියට වැඩ කළාද කියලත් දැනගන්න.


Comments