
Eucerin
කෙනෙකුගෙ තරුණ කාලයෙදි එයාගෙ සම බොහොම පහසුවෙන් ඉබේම අළුත්වැඩියා කෙරෙමින් හොඳින් පැවතීගෙන යනවා. නමුත් අපි වයසට යනකොට සමේ නිරෝගී භාවය පවත්වාගෙන යාමටත්, හොඳ පෙනුමක් පවත්වා ගැනීමටත් ඒකට පොඩි තල්ලුවක් අප විසින් දීම වැදගත් වෙනවා. අවශ්‍ය තරම් වතුර පානය නොකිරීමේ පටන් දිනපතා ජීවිතයේ කෙනෙකු මුහුණ දෙන මානසික ආතතිය, සමබර ආහාරයක් නොගැනීම තද හිරු එළියට නිරාවරණයවීම, සුළඟ වගේම ගොඩනැගිලි තුලදි අපට මුහුණ දෙන්නට වෙන ආලෝකය, දුර්වල වායුසමීකරණය, ශීත කාලයට වියළි තාපය වගේ දේවල් අපේ සමට ලොකු බලපෑමක් කරනවා.
අපි මීට කලිනුත් කතා කළා තමුන්ගේ සම රැක බලා ගැනීමේ වැදගත්කම ගැන. ඒ සඳහා කිසියම් ක්‍රමයක් අනුගමනය කරන්න කලින්, තමුන්ගේ සමෙහි ස්වභාවය හඳුනා ගැනීම හරිම වැදගත්. ඒකට හේතුව සමේ ස්වභාවය අනුව, අනුගමනය කළයුතු ක්‍රමවේදයන් එකිනෙකට වෙනස් වන නිසයි. එහෙම කළොත් විතරයි ඔබේ මහන්සියෙන් ප්‍රතිඵල නෙලාගන්න පුළුවන් වෙන්නෙ. නැත්නම් වැරදි ක්‍රම භාවිතය නිසා ඔබේ සමට හොඳකට වඩා නරකක් වෙන්නත් පුළුවන්. ඔබේ සමෙහි ස්වභාවය ඔබට දැනුම් දෙනවා කොපමන තෙල් ප්‍රමාණයක් සම විසින් නිපදවනවද කියලා. අන්න ඒක තීරණය කරලා තමයි, තමුන්ට සම රැක ගැනීමට අවශ්‍ය වෙන්නෙ මොන වගේ දේවල්ද කියලා තීරණය කරන්න ඕන.
ඒ වගේම ඔබ මතක තබා ගත යුතු අනෙක් දේ තමයි කාලගුණයයි, අපේ සිත්වල ස්වභාවයයි වගේම අපේ සමෙහි ස්වභාවයත් වෙනස් වෙනවා කියන එක. බොහොම කලාතුරකින් කෙනෙකුගෙ විතරයි මුළු ජීවිත කාලයටම එයාලගෙ සම තෙල් සහිත එකක් හරි වියළි එකක් හරි වෙන්නෙ. කාලගුණය, ඔබ ගන්නා ආහාර, හෝමෝන, චෛතසික ස්වභාවය වගේම මාසයේ දින අනුවත් ඔබේ සම තවත් වියළි භාවයට පත් වන්නට හෝ තෙල් සහිත වන්නට හෝ සමෙහි තවත් බොහෝ කුරුලෑ ප්‍රමාණයක් මතුවන්නට හෝ පුළුවන්. ඒ අනුව ඔබට තියෙන්නෙ තෙල් සහිත සමක් නම් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ, ඔබේ සම වියළි හෝ සංවේදී සමක් බවට පත්වන්නෙ නැහැ කියන එක. එවන් අවස්ථාවලදි ඒ තත්වය අනුවයි සම රැක බලාගත යුතු වෙන්නෙ.
දැන් අපි බලමු කොහොමද කියලා සමෙහි ස්වභාවය තීරණය කරන්නෙ.
තෙල් සහිත සම

තෙල් සහිත සමක් ඇති වන්නේ ඔබේ සම මතුපිට තෙල් නිපදවන ග්‍රන්ථි අවශ්‍ය ප්‍රමාණයට වඩා ක්‍රියාත්මක වූ විටයි. ඇතැම්විට මෙය ඔබේ ජානවල බලපෑම මතත්, ඇතැම්විට සම රැක ගැනීමට භාවිතා කරන වැරදි නිෂ්පාදන භාවිතය නිසාත් වන්නට පුළුවන්. ඔබ ඔබේ සමෙන් අනවශ්‍ය තරම් ප්‍රමාණයක් තෙල් ගතිය ඉවත් කරනවා නම් එයින් සිදුවන්නේ තෙල් නිපදවන ග්‍රන්ථීන් විසින් තවත් වැඩියෙන් තෙල් නිපදවීමයි. මේ අමතර තෙල් වලින් ඔබේ සමෙහි පවතින සිදුරු අවහිර කරන නිසා නිතර කුරුළෑ ඇති වන්නට පුළුවන්. ඒ වගේම මේ සිදුරු විශාලව දිස් වන්නට පුළුවන්. තෙල් සහිත සමක් තියෙන අය තමුන්ගෙ මුහුණ අනවශ්‍ය පරිදි දිලිසෙන බවක් අත්විඳිනවා. ඒ වගේම අනෙක් දේ තමයි මේ අයගෙ මුහුණුවල මතු වෙන blackheads. ඔබ makeup පාවිච්චි කරනවා නම් මේ වැඩිපුර තෙල් සහිත ස්ථානවල ඒවා වැඩි කාලයක් නොරැඳෙන බව අත්විඳ තිබිය හැකියි. ඒ උනාට මේ අයට කියන්න තියෙන හොඳම ආරංචිය තමයි තෙල් සහිත සම වඩා තරුණ පෙනුමක් ලබාදෙන බවත්, එහි රැළි වැටීම අඩු බවත්.
වියළි සම

Maryam Hampton from youtube
සමේ වියළි ගතිය ඇතිවෙන්නෙ සම මතුපිටට හානි වීමෙනුත්, ඇසට නොපෙනෙන සුළු පැලීම් තුලින් සමෙහි තෙතමනය ඉවත්ව යෑමෙනුත් කියා පැවසෙනවා. වියළි සමක් තිබෙනවා නම් ඔබට බොහෝ විට දැනෙනවා ඇති සමෙහි තද බවත්, එහි අඳුරු පෙනුමත්, ඇදෙන ස්වභාවයේ අඩුකමත්, රළු බවත්, කසන සුළු බවත්. බොහෝ වෙලාවට තුවාල කැළැල් සහ සම මතුපිට හමයන ස්වභාවයත් මෙවැනි අය අත්විඳිනවා. වියළි සමක් ඇති අයට ශීත කාලගුණය ඉතාමත් අහිතකරයි. එවැනි අය හැකි තරම් ජලය පානය කළ යුතු වෙනවා.
තෙල් සහ වියළි බව මිශ්‍ර සම

මිශ්‍ර සම තෙල් සහිත සමක්වත් වියළි සමක්වත් නොවන මේ දෙකෙහිම මිශ්‍රණයක්. ඒ නිසා ඒක හඳුනා ගැනීම අපහසු කාර්යයක් වෙනවා. මිශ්‍ර සමක් සහිත කෙනෙක් අත්දකින ප්‍රධාන ලක්ෂණ තමයි වැඩිපුර ඇති තෙල් ගතිය, ඒ නිසාම අවහිර වූ සිදුරු, T-zone එකේ දිලිසෙන සුළු ගතිය. ඒ වුනාට මේ අය හම යන ස්වභාවයත් හම රතු වන ස්වභාවයත් සමග සමෙහි තැන, තැන (කම්මුල්වල, හනුවල සහ නළලත් හිස කෙසුත් හමුවන ස්ථානය) වියළි ස්ථාන මතුවීම අත් විඳිනවා.
සංවේදී සම

සාමාන්‍යයෙන් සංවේදී සමක් නිතර රතු වන්නටත්, දැවිල්ල ඇති කරන්නත් සමත් වනවා වගේම එහි කුඩා බිබිලි ඇති වන සුළු බවකුත් තියෙනවා. ඒ වගේම සමේ එකම පැහැයක් නැතිව තද පැහති සහ ළා පැහැති වර්ණ මිශ්‍රණයකුත්, ගොරෝසු බවකුත් දකිය හැකියි. සමහර වෙලාවට මුහුණේ ආලේප ඉවත් කිරීමෙන් පසුව හෝ අළුත් ආලේපයනයක් භාවිතා කළ පසු මෙවැනි සමක් සංවේදී වන බව (රතුවීම, දැවිල්ල )අත් විඳින්න පුළුවන්.
සමෙහි ස්වභාවය හඳුනා ගැනීම සඳහා භාවිතා කරන තවත් සරලම ක්‍රමයක් තමයි බ්ලොටිං කඩදාසි ක්‍රමය.

මේ ක්‍රමය ඉතාමත්ම පහසු වගේම ඒකට ගතවන්නේ තත්පර කිහිපයක් පමණයි. ඒ වගේම බ්ලොටිං කඩදාසි සොයාගන්න ලේසියි. කඩදාසියක් අතට අරගෙන එය ඔබේ මුහුණේ නහය, නළල, නිකට, කම්මුල්, නහය දෙපස වගේ ස්ථානවල තබා සෙමෙන් තද කරන්න. ඉන් පසුව කඩදාසිය පරීක්ෂා කරලා බලන්න කොපමණ තෙල් ප්‍රමාණයක් ඒකට උරාගෙන තියෙනවද කියලා. හොඳින් පෙනෙන්නේ නැතිනම් ආලෝකයකට එරෙහිව තියලා බලන්න. ඒකෙ තියෙන්නෙ තෙල් සුළු ප්‍රමාණයක් නම් ඔබට තියෙන්නෙ වියළි හෝ සාමාන්‍ය සමක් වන්නට පුළුවන්. ඔබ නහය මතත්, නළල මතත් (T-Zone) කඩදාසිය තබා තද කරන විට ඒකට යම්කිසි තෙල් ප්‍රමාණයක් ඇදී ආවා නම් ඔබට තිබෙන්නේ සාමාන්‍ය හෝ තෙල් සහ වියළි බව මිශ්‍ර වූ සමක් විය හැකියි. එසේම කඩදාසියේ බොහෝ තෙල් ප්‍රමාණයක් ගෑවී ඇති නම් ඔබට තිබෙන්නේ තෙල් සහිත සමක් වන්නට පුළුවන්.
දැන් ඔබ ඔබේ සම කුමන වර්ගයට අයත් දැයි හඳුනාගෙන ඇති නිසා අපට පුළුවන් ඊළඟට එයට කළ යුතු සත්කාර පිළිබඳව කතා කරන්න. මේ සම්බන්ධයෙන් ඔබට ඇති අත්දැකීම් දැනගන්නටත් මං කැමතියි.
Comments
Post a Comment