
Pixabay: coffee
ව්‍යායාම කරන්න පටන් ගන්න එක මොන තරම් අපහසු වැඩක්ද කියලා මං වගේ ගොඩක් දෙනා දන්නවා. ඒක නොකර ඉන්න හේතු ගොඩයි. වෙලාවක් නැතිකම, රස්සාවයි ගෙදර වැඩයි ඉවර වෙනකොට මහන්සි එක වගේ සෑහෙන්න දේවල් තියෙනවා. අවංකවම කිව්වොත් ව්‍යායාම කරන්න පෙළැඹවීමක් ඇති කරගන්න එක පහසු දෙයක් නෙවේ. ඒක තවත් අමාරු වෙනවා ව්‍යායාමය තමුන්ට සතුටක් ගෙන දෙන්නෙ නැතිනම්. ඒ උනාට අපි හැමෝටම ඕන ලස්සන හැඩැති නිරෝගී සිරුරක් ලබාගන්න.
ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීමට හේතු සිය ගණනක් තියෙන බව ඔබ අසා ඇති. එයින් ශරීරයේ මහත අඩු කරගන්නත්, දියවැඩියාව, අධි රුධිර පීඩනය වගේ ලෙඩ රෝග තියෙන අයට ඒවා පාලනය කරගන්නත් තමයි බොහෝ දෙනා ව්‍යායාම කරන්න පෙළඹෙන්නෙ. ඒ වගේම ඔබ දන්නවද බොහෝ දෙනා මුහුණ දෙන ගැටළුවක් වන මානසික ආතතිය අඩු කරගන්නත් මේක හොඳ ක්‍රමයක් කියලා? ඒ වගේම රාත්‍රි කාලයේ සුව නින්දක් ලබන්නත් ව්‍යායාමය උපකාරී වන බව කියැවෙනවා. එහෙනම් අපි ක්‍රියාශීලී ජීවිතයක් ගතකිරීම සඳහා පෙළැඹවීමක් ඇති කරගන්න මොනවද කළ යුත්තේ?
ඔබ ඇත්තටම ව්‍යායාම කරන්න කියන එක අහන්නවත් අකමැති කෙනෙක් නම්, ඉස්සෙල්ලම ඒ අකමැත්ත හිතෙන් ඉවත් කර ගන්න එක හරිම වැදගත්. එහෙම නොකළොත් ඔබ කවදාවත් ඉන්න තැනින් නැගිටලා ක්‍රියාශීලී වන්නේ නැහැ. ඒ හින්දා ව්‍යායාම කරනවා කියන අදහසටත් ඔබ අකමැති නම්, තමුන් නිරෝගීව ඉන්න ඕන කියන මනසින් ඒ දිහා බලන්න උත්සාහ කරන්න.
අමුතු දෙයක් කරනවා කියලා දැනෙන්නෙ නැති වෙන්න, එක දවසක් ඇතුලත තමුන්ගෙ ක්‍රියාශීලී බව වැඩි කරගැනීම පටන් ගන්න තියෙන එක ක්‍රමයක් තමයි තමුන්ගෙ නිවස තුලම වැඩිපුර එහාට මෙහාට ඇවිදින එක. මහල් ගොඩනැගිල්ලක රැකියාව කරන කෙනෙකුට පුළුවන් විදුලි සෝපානය පාවිච්චි කරන්නෙ නැතුව, උඩ පහත යන ගමන් වලට පඩිපෙළ පාවිච්චි කරන්න. තමුන් අඩියක් උස්සලා අඩියක් තියන වාර ගාන ගණන් කරගන්න පුළුවන් නම් ඒකට ලොකු පෙළැඹවීමක් ඇති කරගන්න පුළුවන්. ඒ සඳහා උදව් කරගත හැකි නවීන ගැජට් රාශියක් අද වෙළඳ පොලේ තියෙනවා.


මතක තබා ගත යුතු තවත් වැදගත් කාරණයක් තමයි ව්‍යායාම කරන්න ජිම් එකකට යායුතුමයි කියා එකක් නැති බව. නොදන්නා ගැහැණුන් මිනිසුන් රැසක් ඉන්න, මහ විසාල කණ්නාඩි වලින් පිරුනු කාමරයකට ගිහින් ව්‍යායාම කරන්න යන එක බය හිතෙන දෙයක් නම්, ඒකට උත්සාහ කරන්න එපා. ඉඩ තියෙන වෙලාවක් සොයාගෙන මිදුලට බැහැලා පොඩ්ඩක් ඇවිදින්න, ඉඩ තියෙනවා නම් බයිසිකලයක් පදින්න, නැත්නම් හයියෙන් සින්දුවක් දාගෙන නටන්න පොඩ්ඩක්. දරුවො ඉන්නවා නම් එයාලත් එකතු කරගන්න. මේ වගේ ව්‍යායාම කළ හැකි ක්‍රම ගොඩක් තියෙනවා. ඒ හැම එකම අවසාන ප්‍රතිඵලය විදියට එකතු වෙනවා.

මේකත් පොඩ්ඩක් මතක තියාගන්න. ටික දවසක් යනකොට තමුන්ටම තේරේවි තමුන්ට සතුටක් ගෙන එන විදියකට ක්‍රියාශීලී බව වැඩි කරගන්නෙ කොහොමද කියන එක. ඒ උනාට ඒ විදියේ දෙයක් සොයාගන්න එක ඔබට ලොකු ගැටළුවක් නම්, ක්‍රියාශීලී වීම ගැන දත් මදින එක ගැන හිතනවා වගේ හිතන්න. ඔබ දත් මදින්නෙ ඒකට ආස හින්දා නෙවෙයි. දත් සැට් එක පරෙස්සම් කරගන්නයි. කවුද දන්නෙ පස්සෙ කාලෙකදි ඔබට ඒ දේවල් කරන්න ආසා හිතෙයිද කියලා.
ව්‍යායාම කරන එක පුරුද්දක් කර ගැනීම නම් හරිම වැදගත්. හැබැයි ඒක පුරුද්දක් වෙන්නෙ ඒ දේ දිගින් දිගටම කළොත් විතරයි. ඔබට ව්‍යායාම පද්ධතියක් සූදානම් කරගන්න පුළුවන් උනා නම්, මොන වෙලාවෙද කරන්නෙ, කොහොමද, කොහෙද කරන්නෙ කියලා තීරණය කරගන්න පුළුවන් වුනා නම් ඒක මොන තරම් එපා කරපු දෙයක් උනත්, අතහැරලා දාන්න එපා. කාලයත් එක්ක ඒක පහසු වේවි. පුරුද්දක් උනාම ඒ ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නැති වේවි. ඇවිදින්න, බයිසිකල් පදින්න, දුවන්න, කන්දක් නගින්න යන එකට ඔබට කිසිම වියදමක් යන්නෙ නෑ. අනිත් එක තමයි මේ සම්බන්ධයෙන් ගොඩක් ප්‍රයෝජනයට ගන්න පුළුවන් යූටියුබ් එක. ඒකෙන් තමුන්ට ගැලපෙන ඕනෑම ව්‍යායාමයක් උපදෙසුත් එක්කම තෝරාගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් දිනපතා විනාඩි 30 ක පමණ කාලයක් ව්‍යායාම වෙනුවෙන් වෙන් කර ගත යුතු වුවත්, ඔබට ඒ වෙනුවෙන් වැය කළ හැකි කාලය තීරණය කළයුතු වෙන්නේ ඔබමයි. ඒ සඳහා විශේෂ වෙලාවක් මුල ඉඳන්ම වෙන් කරගන්න හැකි නම් ඒක ලොකු පහසුවක් වේවි. ඒ වගේම ඒ විනාඩි 30 ඇතුලත කරන ව්‍යායාමය නොකඩවා කළයුතු එක ව්‍යායාමයක් වීමම අවශ්‍ය නෑ. ඔබට පුළුවන් ඒක කෙටි කාල පරාස කිහිපයකට බෙදා ගන්න.
මම මුලින්ම පටන් ගත්තෙ යූටියුබ් එකෙන්. මං කළේ ගේ ඇතුලෙම එක තැන ඇවිදින ව්‍යායාමයක් සොයාගත්තු එක. ඒක හරියට ඉගෙන ගත්තට පස්සෙ මං මට ඕන විදියට මට පහසු විදියට ඒ දේවල් හදාගත්තා. ඒ කරලා ඒක අතහරින්නෙම නැතුව දිගටම කරනවා. හැබැයි මගේ අරමුණ උනේ වර්තමාන බර වැඩි වෙන්නෙ නැතුව දිගටම පවත්වාගෙන යාම. මං ඒ වෙනුවෙන් පාවිච්චි කරපු වීඩියෝ එක පහත පළ කරනවා. සමහරවිට ඔබටත් ප්‍රයෝජනයක් ගත හැකි වේවි.
ඔබ මේ වීඩියෝ එක පාවිච්චි කරනවා නම් එයා දෙන උපදෙස් හරියටම පිළිපදින්න. මේකෙ තියෙන ලොකුම විශේෂත්වය තමයි stretching කරන්නෙ නැතුව අදාල ව්‍යායාමයම සෙමෙන් පටන් ගන්න එක. අනිත් වැදගත් දේ තමයි අවසානයේ stretching කරන විදිය. ඒක හරිම වැදගත් වගේම කවදාවත් මගහරින්න එපා. හරියට අනුගමනය කළොත් මගේ අත්දැකීම අනුව මාංශ පේශීන්වල වේදනාවල් එහෙම එන්නෙ නෑ.
ඔබත් දිනපතා ව්‍යායාමයන්හි යෙදෙන කෙනෙක්ද? ඔබේ අත්දැකීම්නුත් අපිත් එක්ක බෙදාගන්නවා නම් ගොඩක් වටිනවා.
Comments
Post a Comment