තමුන්ගේ සම රැක බලාගැනීමේ පුරුද්දක් ඇති කරගත යුත්තේ ඇයි?

Image result for free photos of beautiful skin no copyright

අපේ ශරීරයේ තියෙන පිටතට නිරාවරණය වුනු ලොකුම ඉන්ද්‍රියය වුනු සම, දවසේ පැය විසිහතර පුරාම බාහිර පරිසරයෙන් අපිව ආරක්ෂා කරනවා. අව්වට නිරාවරණය වීම නිසා සමට මොන තරම් හානියක් වෙලා තියෙනවද කියලා බලාගන්න ඕන නම් කරන්න තියෙන්නෙ තමුන්ගෙ අතේ බාහුවේ ඇතුළු පැත්ත, ඒ කියන්නෙ කෙලින්ම හිරු එළියට නිරාවරණය නොවෙන ප්‍රදේශය, ඒ අතේම කෙලින්ම හිරු එළියට නිරාවරණය වන ප්‍රදේශයත් එක්ක සන්සන්දනය කරලා බලන එකයි. වර්ණයේ ඉඳලා සමේ ස්වභාවය (texture) දක්වාම පැහැදිලි වෙනසක් තියෙනවා නේද? ඒකෙන්ම හිතාගන්න පුළුවන් නේද හිරු එළියෙන්ම විතරක් සමට මොන තරම් හානියක් කරන්න පුළුවන්ද කියලා? ඒ උනාට අපි කීයෙන් කී දෙනාද අපට මේ තරම් ආරක්ෂාවක් දෙන සම, හරියට රැක බලාගන්නෙ?

අපි හැමදෙනාගෙම එක දවසක් ගත්තොත් ඒක හැදිල තියෙන්නෙ නොයෙකුත් ආකාරයේ චර්යා රටා ගොඩක් එකට එකතු වෙලායි. උදේ පාන්දර එලාම් එකට අවදිවීමේ ඉඳලා රැකියාවට යන්න පිටත් වෙනකම් මේ වගේ පුරුද්දක් විදියට කරන චර්යාවන් කීයක් තියෙනවද? ඒ උනාට අපි අතරින් කී දෙනෙක්ගෙ මේ චර්යා රටාවන් තුල තමුන්ගෙ සම රැකබලා ගැනීම වෙනුවෙන් පුංචි හරි කාලයක් වෙන් කරලා තියෙනවද?

බොහෝ දෙනෙක් මේ වගේ දෙයක් ලොකු උනන්දුවකින් පටන් අරන් ඉක්මනටම අතහැරලා දානවා, ඒක අතහරින්න පහසු දෙයක් නිසා වගේම වෙහෙසත්, කම්මැලිකමත් නිසා. මාත් එහෙම කරපු එක්කෙනෙක්. අද මහන්සි නිසා හෙට කරනවා කියලයි හිතුවෙ.  ඒ උනාට මේක අපි හැමදෙනෙක්ම පුංචි කාලයක් හරි වෙන් කරගෙන කරන්න අවශ්‍ය වැදගත් දෙයක්. නැත්නම් වයස ගත වෙනකොට කණ්නාඩිය ඉස්සරහට ගිහින් මූණ දිහා බලලා දුක් වෙන්න තමයි වෙන්නෙ. ඒ විතරක් නෙවේ. ඒකට පිටතට පෙනෙන ප්‍රධාන හේතුව බාහිර පෙනුම කියන එක වුනාට, අපි අපේ සම රැක බලාගන්න ඕන වෙන්නෙ ඒ හේතුව හින්දම නෙවේ. සම කියන්නෙ ලෙඩ රෝග ආසාදන වලට එරෙහිව අපේ ශරීරයේ තියෙන විශාලම බාධකය. අපේ සම නිරෝගීව වගේම වියළී යාමකින් තොරව පවත්වාගෙන යමෙන් වෙන්නෙ මේ බාධකය තව තවත් ශක්තිමත් වීමයි. ඒ නිසා සම ශක්තිමත්වත් නිරෝගීවත් පවත්වාගෙන යාම ඉතාමත් වැදගත් දෙයක් වෙනවා.

ඒ විතරක් නෙවේ. අපට පුළුවන් නම් බොහොම සරල පුරුද්දක් ඇති කරගෙන නියමිත විදියට අපේ සම රැක බලා ගන්න, ඒකෙ අවසාන ප්‍රතිඵලය ලප, කැළැල් වලින් තොර, පැහැදිලි, නිරෝගී සමක් වෙනවා. මතුපිටින් ගත්තම මේක තමුන්ගෙ ආත්ම විශ්වාසය වැඩි කරවන දෙයක් විය හැකියි. ඒකම තමුන්ට තමුන් පිළිබඳව, තමුන්ව හොඳින් බලාගන්න ඕන කියල හිතෙනවා වගේ වෙනදාට වඩා ආදරයක් ඇති කරවන දෙයක් පුළුවන්. මොකද, අපි හැමතිස්සෙම කරන්නෙ අනුන්ව බලාගෙන, අනුන්ට ආදරය කරන එකනෙ, ඒ කිසි දෙයක් තමුන්ට දෙන්නෙ නැතිව.

Lemon, Basil, Hairy, Natural, Spice, Kitchen, Green

ඒ වගේම තමයි තමුන්ගේ සම රැක බලාගැනීම පුරුද්දක් වශයෙන් නොකඩවාම කළ යුතු වෙනවා. එහෙම කළොත් විතරයි ඒකෙන් ප්‍රතිඵල ලැබෙන්නෙ. මම ඒක පෞද්ගලිකවම අත් විඳපු කෙනෙක් නිසා ඒක හොඳට දන්නවා. අද බෑ හෙට කියල හිතුවොත් ආපහු දවස් ගාණක් පස්සට යනවා. ඒක අල්ලගන්න නැවත බැරි වෙන්නත් පුළුවන්. අනිත් වැදගත්ම දේ තමයි මොකක් හරි ක්‍රමයක් අනුගමනය කරලා ඒකෙ ප්‍රතිඵලය දවසින් දෙකෙන් ලැබේවි කියලා බලාපොරොත්තු වෙන එක. අවාසනාවකට වගේ ඒක නම් එහෙම වෙන්නෙ නෑ. අපට ඉවසගෙන ඉන්න වෙනවා ටික කාලයක්. ඒ නිසා දීර්ඝ කාලීන සැලැස්මක් අනුගමනය කරන එක සතියකින් විතර ප්‍රතිඵල ලැබෙනවාය කියන මැජික් ප්‍රතිකාරයකට වඩා වටිනවා. ඒ වගේ දෙයක් අනුගමනය කරලා බලාපොරොත්තු වෙන දේ නොලැබුනහම වෙන්නෙ තමුන් ඒ දේ කරන්න අධෛර්යමත් වෙන එකම විතරයි. වැඩක් නෑ කියලා හිතෙනවා ඕන කෙනෙකුට.

තමුන්ගේ සම රැක බලාගැනීමේ පුරුද්දක් ඇති කර ගැනීමෙදි අමාරුම දේ වෙන්නෙ ඒක පටන් ගන්න එකයි. ඒ උනාට ප්‍රතිඵලය පේනකොට හොඳ පෙළඹවීමක් එනවා ඒක දිගටම කරගෙන යන්න. මොන දේ කළත් කිසිම දෙයක් එක රැයින් සිද්ද වෙන්නෙ නෑ. ඒ උනාට තමුන් අනුගමනය කරන්න තෝරාගත්තු දේ දිගටම කරගෙන යනකොට යම්කිසි කාලයකදි ඒකෙ ප්‍රතිඵලය පේන්න ගන්නවා. මේක තේරුම් ගන්න කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒ ක්‍රමය ආරම්භ කරන්න කලිනුත්, ආරම්භ කළාට පස්සෙ සතියකට සැරයක් එකම දවසට මුහුණේ සම පැහැදිලිව පෙනෙන විදියේ පින්තූරයක් ගන්න එක. කාලයත් එක්ක මේ පින්තූර සන්සන්දනය කරලා බලනකොට තමුන්ටම පෙනේවි ප්‍රතිඵලය.

ඒ වගේම වැදගත් දෙයක් තමයි සම රැක බලාගන්න පුරුද්දක් ඇති කරගන්න වයස්ගත වෙනකම් ඉන්න ඕන නෑ. හැකි තරම් තරුණ වයසෙදිම පටන් ගන්න තරමට ලස්සන පැහැදිලි සමක් වයසට යනකම්ම පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබෙනවා වගේම වයසට යන්නත් කලින් වයසට ගියා වගේ පෙනුමක් ලැබෙන එකත් නතර වෙනවා. නිකමට බලන්න වයසට වඩා තරුණ පෙනුමකින් යුතුව ඉන්න අය දිහා. මොකක්ද ඔබ ඉස්සෙල්ලම දකින්නෙ? එයාලගෙ ලප, කැළැල් වලින් තොර පැහැදිලි සම. ඇත්තටම කියනවා නම් සම රැක බලාගන්නවා කියන්නෙ මතුපිටින් ඒකට කරන සාත්තු සප්පායම් විතරක්ම නෙවේ. සරලව කිව්වොත් හොඳට වතුර බොන එක වගේම සමබර ආහාරයක් ගන්න එකත් හරිම වැදගත්. ඒ උනාට ඒ මාතෘකාව සරල බවෙන් ගොඩාක් ඈතට යන එකක් නිසා අපි ඒ ගැන වෙනම දවසක කතා කරමු.

ඔබ අතරින් කී දෙනෙක් දැනටමත් මේ වගේ පුරුද්දක් අනුගමනය කරනවද? එහෙම කරලා ඔබ ලබාපු ප්‍රතිඵලය ගැන දැනගන්න මම බොහොම කැමැත්තෙන් ඉන්නවා.


Pictures: PIXABAY

Comments